මෙරට ව්‍යවසායකත්වය සදහා පවතින බාධක ඉවත්කොට නව ප්‍රතිපත්තිමය රාමුවක් කඩිනමින් සැකසීම සදහා සියලු අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් සති දෙකක් තුළ මූලික සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (19 දින) මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මියට උපදෙස් ලබා දුන්නේය.
ව්‍යවසායක් මෙරට ආරම්භ කිරීම මේවන සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇති බැවින් දියුණු රටවල මෙන් එය ඉතා සරල සහ පහසු කාර්යක් ලෙස සකස් වීමට ප්‍රතිපත්තිමය රාමුවක් සකස් විය යුතු බවද අනුකමිටුවේදී අවධාරණය කෙරිණි. ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියාවලිය වඩාත් පහසුවෙන් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් මීළග කමිටු රැස්වීමේදී සාකච්ඡාකොට තීරණය කිරීමට ද අනුකමිටුවේ එකඟත්වය පළ විය.
ව්‍යවසායකත්වය හා ආයෝජන දිරිමත් කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබද සාකච්ඡා කිරීම සදහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවට (19) කැදවා තිබූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දෙන ලදී.
ව්‍යවසායකත්වය ඇතුළු වෘත්තිය මාර්ගෝපදේශනය මෙරට සිසු දරු දැරියන්ට හිමිවිය යුතු අයිතියක් බැවින් මෙරට පාසැල් අධ්‍යාපන පද්ධතියට එය ඇතුළත් වන ලෙස අධ්‍යාපන ප්‍රතිපත්තීන් වෙනස් විය යුතු බව මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.
මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට අධ්‍යාපනය, රැකියාවක් හෝ කිසිදු පුහුණුවක් නොමැති තරුණ පිරිස ( Not in Employment, Education, Training / NEET) ලක්ෂ 8 කට ආසන්න බවත් වෘත්තීය අරමුණක්ද නොමැති ඔවුන්ට ව්‍යවසායකත්වය ඇතුලු වෘත්තීය මගපෙන්වීමක් අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.
විශේෂයෙන්ම දියුණුවට පත්වූ ව්‍යවසායකයන් පිළිබද චරිතාපදාන ආදියද මෙරට අධ්‍යාපන විෂය නිර්දේශයන්ට ඇතුළත් විය යුතුබවත් පාසැල් අවධියේ සිටම සාම්ප්‍රදායික රැකියාවන්ගෙන් ඔබ්බට ගිය නව වෘත්තීය අවස්ථා සහ ව්‍යවසායකත්වය පිළිබද දරුවන් දැනුවත් කළ යුතු බවත් කමිටුවේදී සාකච්ඡා විය. මේ අනුව 9 ශ්‍රේණියේ සිට හෝ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මත අදාළ වෘත්තිය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම පිණිස නිසි මගපෙන්වීම සදහා අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් විය යුතු බවද ඊට අදාළ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කොට ප්‍රතිපත්ති සකස් කරන ලෙසද කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.
අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අලි සබ්‍රි රහීම් යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබදව ද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, රාජ්‍ය අමාත්‍ය ඩි.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, විදුලිබල අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඇතුළු විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ අදාළ ආයතනවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අදාළව සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව මූලික කරුණු මෙහිදී සාකච්ඡා විය.