පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතිකයක්

    ඔක්තෝබර් 21, 2022

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීමට සහය වෙමින්, මෙම දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකු සමූහයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ණයහිමියන් ද සහතික වූ බව, අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔක්තෝම්බර් 10 සිට 16 දක්වා වොෂින්ටන් හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම් සහ ඊට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති විශේෂ කණ්ඩායම් රැස්වීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරුන් ද්වීපාර්ශවිකව හමු වූ බව අමාත්‍ය වරයා සඳහන් කරන ලදී. මීට අමතරව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකරණ අධ්‍යක්ෂ, දකුණු ආසියානු කලාපය පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කලාපීය උප සභාපති, ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ කණ්ඩායම ඇතුළු ලෝක බැංකු සමූහයේ නිලධාරීන් ද මෙම ද්විපාර්ශ්වික මට්ටමින් සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    සංවර්ධනය වෙමින් පවතින රටවල පෙර නොවූ විරූ අභියෝග ඇති කරමින් එක පිට එක පැමිණි අර්බුදවල බලපෑම පිළිබඳව මෙවර වාර්ෂික රැස්වීම්වලදී ප්‍රධාන වශයෙන් අවධාරණය යොමු කරන ලද එක් කරුණක් වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    ගෝලීය ආර්ථික වර්ධනය 2021 වසරේ දී 6.0 % සිට 2022 වසරේ දී 3.2 % දක්වා ද, 2023 වසරේ දී 2.7 % දක්වා ද මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර, ගෝලීය උද්ධමනය 2021 වසරේ දී සියයට 4.7 සිට 2022 වසරේ දී සියයට 8.8 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත්, 2023 වසරේ දී සියයට 6.5 දක්වා ද, 2024 වන විට සියයට 4.1 දක්වා ද පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කරන ලදී.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් 190 ක් ඉදිරියේ ඇති බරපතල අභියෝග වශයෙන් රටවල් ඉක්මනින් අපේක්ෂිත ඉලක්ක වලින් ඉවතට ඇද දැමිය හැකි කම්පනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කරන, නව අනතුරු සහගත කාලපරිච්ඡේදයකට ලෝකය ඇතුළු වෙමින් සිටින බව එකී අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය පෙන්වා දුන් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටින ලදී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya