නිරන්තරයෙන් සිදුවන ජල ගැලීම්වලින් කඩුවෙල නගරය ආරක්ෂා කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුතු බවට කඩුවෙල මහ නගරසභා බල ප්‍රදේශ සංවර්ධන සැලැස්ම සකස් කීරීම සම්බන්ධයෙන් පසුගිය දා පැවැති සාකච්ඡාවේදී යෝජනා විය.
එමෙන්ම කඩුවෙල නගරය මහජනතාවට ඉතාම ආරක්ෂාකාරී දියුණු නගරයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණ.
කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට අදාළ නගර සංවර්ධන සැලැස්ම (2023-2033) පිළියෙල කිරීම සඳහා යෝජනා හා අදහස් ලබාගැනීමේ සාකච්ඡාව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් (18) එම නගර සභාවේදී පැවැත්විණි.
එම ප්‍රදේශයට අදාල මහජන නියෝජිතයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ මහජනතාව සම්බන්ධ කරගනිමින් මෙම සංවර්ධන සැලැස්ම සකස් කිරීමට නියමිතය. කඩුවෙල මහ නගරසභා බල ප්‍රදේශයේ පෞරාණික උරුමය ආරක්ෂා කර ගනිමින් කෘෂිකාර්මික, ධීවර, ආර්ථික, පාරිසරික, යටිතල පහසුකම්, ප්‍රවාහන, සෞඛ්‍ය, සංචාරක, අධ්‍යාපනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශ රැසකින් ඉදිරි වසර 10 තුළ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය තුළ සිදු කළ යුතු සංවර්ධනයන් පිළිබඳව සහභාගී වූවන් මෙහිදී අදහස් දැක්වීය.
නගරසභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා දැනට ක්‍රියාත්මක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් නඟා සිටුවීමට නව වැඩ පිළිවෙලක් සකස් කිරීම පිළිබදවද මෙහිදී අදහස් පළ විය. එමෙන්ම ප්‍රදේශයේ කුඩා සත්ව ගොවිපළ ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී යෝජනා විය.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (සැළසුම් හා උපායමාර්ගික) ප්‍රියානි නවරත්න, කඩුවෙල මහනගර සභාවේ නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ,කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ යන මහත්ම මහත්මීන් සහ කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.