ඒ අනුව මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි මීටර් කියුබ් මිලියන දෙකක් පමණ පොම්පකිරීමට නියමිතව ඇත. මුහුදේ සිට නළ මඟින් පොම්ප කළ වැලි ගොඩබිම අදාල ස්ථානයට ගෙන ඒම, වැලි කඳු ලෙස විවෘත එළිමහනේ ගබඩා කිරීම, වැලි යන්ත්‍රයට ඇතුල් කිරීම, සේදීම, පිරිසිදු කිරිම, තේරීම සහ වේලීම යන අංශවලට යොමු කෙරෙනු ඇත.
එලෙස සෝදා පිරිසිදුකර වියලා හලා ගන්නා ලවණ රහිත මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ SLS1397:2010 ප්‍රමිතියට අනූකූලව සකස් කරනු ලැබේ. අනතුරුව එම මුහුදු වැලි කෙරවළපිටිය- මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතය. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී ඇත.
මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ඒ සම්බන්දයෙන් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගැනීමටද නියමිතය. මේවනවිට වාරකන් කාලය බැවින් මේ සම්බන්දයෙන් වන නිරීක්ෂණ කටයුතු නතර කර ඇත. වාරකන් කාලය නිමවූ පසුව ලබන වසරේදී වැලි කැණීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිත බවද ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි.