මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන මේ සඳහා සහභාගි වේ.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අද පැවැති සාකච්ඡාවකදී මෙලෙස අදාළ කමිටුව දෛනිකව රැස්විය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.
එයට අමතරව වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු අදාළ ආයතනයන මෙන්ම රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනයන්හි පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබා ගැනීමටත් ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණයවිය.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ සෑම දිනකම පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී රට තුළ පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණයන්හි අඩු වැඩි වීම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
නීති රීති සියල්ලට වඩා මිනිස් ජීවිත ප්‍රමුඛ වන බවත් එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙය මානුෂීය තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
ඖෂධ ලබා ගැනීම සඳහා ඉන්දීය ණය සහනාධාර සහ ආසියානු ආයෝජන බැංකුව මෙන්ම අනිකුත් ක්ෂේත්‍ර කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඒ පිළිබඳව අන් කවරදාටත් වඩා කැපවී කටයුතු කළයුතු බව අමාත්‍යවරයා පැවසීය.
ජීවිතාරක්ෂක ඖෂධ , අත්‍යවශ්‍ය ඖෂධ හා අත්‍යවශ්‍ය නොවන ඖෂධයන්හි අඩු වැඩි වීම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා දෙන ලෙසත් , සෑම විටම ඉදිරි කාර්තු දෙක සඳහා අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.
මේ අතර මේ වන විටත් ඖෂධ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සතියට කිහිප වරක් රැස් වන අතර එයට අමතරව අදාළ ආයතන සමඟ ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙන වෙනම සාකච්ඡා කිරීම සිදු කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.