පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය රැස්වෙයි

    ඔක්තෝබර් 27, 2022

    බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය (25) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය.

    බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය 2017 වසරේ පිහිටුවනු ලැබු එය මාස 6 කට වරක් රැස්වේ. මෙහි සභාපති ධුරය දරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන අතර උපදේශකත්වය බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය විසින් දරනු ලැබේ.

    මෙහිදී බෝ නොවන රෝග පාලනයට සිදු කල හා දැනට සිදු කරගෙන යන මෙන්ම ඉදිරි ක්‍රියාකාරකම් සාකච්ජාවට හා සමාලෝචනයට ලක් කෙරේ.

    බෝ නොවන රෝග පාලනය සදහා අවධානම් තත්ත්ව හදුනාගෙන ඒවා වැලැක්වීම සදහා සෞඛ්‍ය මෙන්ම සෞඛ්‍ය නොවන අංශයන්ගේ සාමුහික ප්‍රයත්නයක අවශ්‍යතාවය මෙහිදී මතුවිය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින සියලුම සේවා ස්ථානවල ආපන ශාලා ටෙන්ඩර් කැදවීමේ ක්‍රමවේදයේදී පිසින ලද බත් සදහා ලුණු එකතු කිරීම වැලැක්වීමට අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමටත් මෙහිදී සාකච්ජා විය.

    සෞඛ්‍ය විෂය අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයක් ලෙස ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සමග වැඩිදුරටත් සාකච්ඡා කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    පිළිකා රෝග තත්ත්ව හදුනා ගැනීමටත්, ප්‍රතිකාර සිදු කිරීමටත්, අංග සම්පූර්ණ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමුඛතාවය මත සෑම පලාතකම ස්ථාපිත කිරීමටත්, පවතින මූල්‍ය ක්‍රමවේද මනා කාර්යක්ෂම ලෙස යොදා ගෙන පිළිකා රෝගී සත්කාර සේවාව වැඩි දියුණු කිරීමටත් මෙහිදී අවධාරණය විය.

    හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝ නොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ක්‍රියාත්මක කල යුතු කෙටි කාලීන හා දිගු කාලීන සැලැසුම් සකස් කිරීමත් ඊට අදාළ සමාලෝචන සිදු කර ඒ් පිළිබදව හැකි සෑම විටම තමන් දැනුවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    දුම්කොල සහ මධ්‍යසාර භාවිතය, ශාරිරික ක්‍රියාශීලිභාවය මද බව, අහිතකර ආහාර රටාව, පිළිකා සදහා පූර්ව පරීක්ෂණ සිදු කිරීම, රුධිර පීඩනය, රුධිර ගත කොලොස්ටරෝල් ප්‍රමාණය, රුධිරගත සීනි මට්ටම වැනි කරුණු පිළිබදව ජනතාව දැනුම්වත් කිරීම සදහා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සිදු කිරීමටත්, ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග, පවතින ගැටලු ආදිය පිලිබදවත් සාකච්චාවට භාජනය විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පකා වික්‍රමසිංහ, යන මහත්ම මහත්මීන් හා අමාත්‍යංශ, රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya