2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (27) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.30ට ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමටද, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවිත්වීමටද මෙහිදී තීරණය විය.
විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 5. 00 ට පැවැත්වීමටද මෙහිදී එකඟතාවය පළ විය. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වාකාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සිදු නොකිරීමටකාරක සභාවේදී තීරණය වූ අතර දෙසැම්බර් 09 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කර ප්‍රශ්න 50ක් ඇසීම සඳහා වෙන් කොට තිබෙන බවද මහලේකම්වරයා පැවසීය.
අයවැය විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.
පාර්ලිමේන්තුව එළඹෙන නොවැම්බර් 08 වැනිදා යළි රැස්වන අතර එදින පෙරවරු 10.30 සිට 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 09 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මතකිරීමට නියමිතය.
නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණ අමාත්‍යාවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් මෙන්ම බන්ධනාගාර ආඥාපනත යටෙතේ නීති සහ 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 03ක් දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.
උක්ත දින 03දී පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට තිබේ. එම දිනයන්හිදී පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සහ යෝජනා සඳහා වෙන් කොට තිබේ.
නොවැම්බර් 11 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර එදින පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන, ටී.බී ඒකනායක, තුරෙයිරත්නසිංහම්, පූජ්‍ය බද්දේගම සමිත හිමි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද මහලේකම්වරයා පැවසිය.