මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් - දකුණු කොරියානු ආයෝජකයෝ නියෝජ්‍ය කථානායකට කියයි

    නොවැම්බර් 01, 2022

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම්, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට දකුණු කොරියානු ආයෝජකයින් විශාල පිරිසක් සිටින සූදානමින් බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වී දකුණු කොරියානු ආයෝජකයෝ ප්‍රකාශ කරති.

    පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ දී දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවෙදී දකුණු කොරියානු ආයෝජකයෝ මේ බව ප්‍රකාශ කළහ.

    “හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හැදුවේ දකුණු කොරියාව. ඒ සම්මන්ත්‍රණ ශාලාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව වී වේලනවා, මිරිස් වේලනවා කියලා දකුණු කොරියාවෙත් යම් යම් ප්‍රචාරයන් සිදු වෙනවා” යනුවෙන් දකුණු කොරියානු ආයෝජකයෙකු වන සන්ග් වූ චෝ (Sung Woo Choi) මහතා ප්‍රකාශ කළේය.


    ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි.

    “හම්බන්තොට සංවර්ධනය කළේ ඒ සංවර්ධන ප්‍රතිලාභ මුළු රටටම ගෙන ඒමටයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ දී සිදු කළා. නමුත් ඊට පසුව පැමිණි ආණ්ඩුව එම සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජන නොගෙන අතහැර දැම්මා. එහෙම අතහැර දාලා ඊට පස්සේ කියනවා, ඒවායින් ප්‍රයෝජනයක් නැහැයි කියලා. ඊට පස්සේ මේවායින් කරන්නේ වී වේලනවා, මිරිස් වේලනවා වැනි අසත්‍ය ප්‍රචාර සිදු කරනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්.”


    නමුත් වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජන ගෙන හම්බන්තොට නිසි සංවර්ධන මාවතකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් පැහැදිළි කිරීමක් සිදුකළ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන ලෙසට තමා දකුණු කොරියානු ආයෝජකයින්ට ආරාධනා කරන බවයි.


    එම ආරාධනාව පිළිගත් සන්ග් වූ චෝ මහතා කියා සිටියේ තමා තවත් දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් සමඟ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන බවයි.
    හම්බන්තොට තවත් ආයෝජන ව්‍යාපෘති සිදු කිරීම සඳහා දකුණු කොරියාවේ අවධානය යොමු වී තිබෙන බව ද සන්ග් වූ චෝ මහතා විසින් පෙන්වා දෙන ලදී.


    ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම් මෙරට තවත් ආයෝජන සිදු කිරීමට දකුණු කොරියානු ආයෝජකයින් කැමැත්තෙන් පසුවෙන බවයි.
    එවැනි අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකරන ලෙස තමා ඉල්ලිමක් කරන බවත්, ශ්‍රී ලංකාවට දකුණු කොරියාව ලබාදෙන සහාය තමා බෙහෙවින් අගය කරන බවත් එම සහාය ඉදිරියටත් ලැබෙනු ඇතැයි කියා තමා දැඩිව අපේක්ෂා කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    මෙම අවස්ථාවට දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන රුවන් පීරිස් සහ මංජුල වීරරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya