ලෝක නගර දින සැමරුමට සමගාමීව කැස්බෑව නගර සංවර්ධන සැලසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
ඒ අනුව ඉදිරියේදී කැස්බෑව නගරය “ හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. කොළඹ නගරයේ කළබලකාරී පරිසරයෙන් මිදී මිනිසුන්ට කායික හා මානසික සුවය ලබාගත හැකි නගරයක් ලෙස කැස්බෑව නගරය සංවර්ධනය කෙරෙනු ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය වසරේදී නගර සැලසුම් 22ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙම වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගර සැලසුම් 29ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදමින් සිටින බවයි. ඊට අමතරව මෙම වසරේදීම තවත් නාගරික සැලසුම් 49ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පවසයි.
ඉන් නගර සැලසුම් 7ක් මේ වනවිටත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට ඇත. කොළඹ, කෝට්ටේ, දෙහිවල, මහරගම, හෝමගම, නුවරඑළිය සහ කන්තලේ එලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති නගර සැලසුම්වේ. ඉතිරි නගර සැලසුම් සකස්කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවද අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම ඉදිරි දසවසරක කාලය තුලදී පළාත් පාලන ආයතන 273ක් ආවරණය වන පරිදි සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. මෙම සංවර්ධන සැලසුම් සකස් කරන්නේ පළාත් පාලන නියෝජිතයන් හා මහජන අදහස් ලබාගනිමිනි. නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට නාගරික සැලසුම් සඳහා අදහස්, යෝජනා ලබාදීමේ හැකියාව ඇත.
නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශවල ජාතික හා පළාත් මට්ටමින් ආර්ථික, සමාජයීය හා භෞතික සංවර්ධනය කඩිනම් කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති ප්‍රධාන කාර්යයක් වේ.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය.