මෙහිදි ඔවුන්ට සිදුවන අවහිරතා මඟහරවා ගැනීම සඳහා එම චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදි. අද දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යතුමා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදි.
ඒ අනුව ඉහත චක්‍රලේඛයේදී විවාහ අපේක්ෂිතයන් විවාහයකදි ආරක්ෂක අමාත්‍යංශ හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවක් ලබාගත යුතුවූ අතර, අදාළ විදේශ ජාතිකයාගේ සෞඛ්‍ය තත්වය තහවුරු කර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක්ද ලබා ගත යුතුව තිබිණි.එමෙන්ම එවැනි විවාහයක් අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් විසින් පමණක් සිදුකළ යුතු බවද ඉහත චක්‍රලේඛයේ සඳහන්ව තිබිණි.
එහෙත් ඉදිරියේ දී (112 වන අධිකාරිය වන) විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශ ජාතිකයෙකු සහ ශ්‍රී ලංකාකිකයෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේදී එම විදේශීය පාර්ශවය විසින් ලබාගත යුතු මතු සඳහන් ලේඛන පමණක් ප්‍රමාණවත් වන පරිද්දෙන් නව චක්‍රලේඛය නිකුත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදි.
එම ලියවිලි වන්නේ.
1. විදේශ ගමන් බලපත්‍රය
2. සිවිල් තත්වය සනාථ කිරීමේ සහතිකය ( අවශ්‍යතාවය අනුව දික්කසාද ලියවිලි, වැන්දඹු බව සනාථ කිරීමේ ලියවිලි)
3. උපපැන්න සහතිකය (උපන්දිනය සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් පමණි)
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ඇතුලු අමාත්‍යංශයට අනුබද්ධිත ආයතන වල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.