මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්දියාවේ සහයෝගීතාවය ලබා ගැනීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඔක්තෝම්බර් 30 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.
අමාත්‍යවරුන් අතර ඉතා සුහදව පැවති මෙම සාකච්ඡාවේදී දෙරාජ්‍යය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය හා හවුල්කාරීත්වයට අදාල කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
එම සාකච්ඡාවේ දී මෙරට දුම්රිය මාර්ග පද්ධතිය හා අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වත්මන් තත්වය පිළිබඳ මෙහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉන්දීය අමාත්‍යවරයා දැනුවත් කළ අතර පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමේ වැදගත්කම පිළිබඳ ඉන්දීය අමාත්‍ය ගට්කාරී අවධාරණය කළේය.
ප්‍රවාහනය සඳහා බලශක්ති ප්‍රභවයන් ලෙස ජෛව ඉන්ධන සහ විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව මේ වන විට ලබා ඇති ජයග්‍රහණ පිළිබඳවද ඒ මහතා කරුණු පැහැදිලි කළේය.
ඉන්දියාවෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන බස්රථ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී දෙරටේ අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු විය. මේ අවස්ථාවේදී ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය වීමට සහ පොසිල ඉන්ධන මත යැපීම අඩුකරන විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබඳ තමන් සතු පුළුල් අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමටත් කැමැත්ත පළ කළේය.
මෙම ඉන්දීය සංචාරයේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයේ රේල් ඉන්දියා ටෙක්නිකල් ඇන්ඩ් ඉකොනොමික් සර්විස් ලිමිටඩ්(RITES) ඉන්දියා රේල්වේ කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ්(IRCON) සහ රේල් විකාශ් නාගම් ලිමිටඩ් (RVNL) යන ආයතනවල සභාපතිවරුන් සහ ජේෂ්ඨ කළමණකාරවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක්ද හමු විය.
මෙම අවස්ථාවට නවදිල්ලි නුවර වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ඇතුළු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.