මැයි 18, 2025
tami eng youtube  twitter facebook

    රජය දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සැමවිටම කටයුතු කරනවා - කර්මාන්ත ඇමති

    නොවැම්බර් 09, 2022

    පසුගිය කාලය තුළ ඇතිවූ ආර්ථික අර්බුදය නිසා මෙරටට ආනයනයන් සීමා වීමත් , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිවීමත් නිසා දේශීය නිෂ්පාදකයන් රැසක් බිහිවීම රටේ ආර්ථිකය වෙනුවෙන් හොද ප්‍රවනතාවයක් බවත් , ඔවුන්ව ආරක්ෂා කිරීමට රජයක් ලෙස උපරිමව කටයුතු කරන බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූවේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA )කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ගාල්ල මහනගර ශාලා පරිශ්‍රයේදී පසුගියදා( නොවැම්බර් 5 ) පැවැත්වූ Made in Sri lanka ජාතික ප්‍රදර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

    ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීමේ අරමුණෙන් NEDA ආයතන Made in Sri lanka ලාංඡනය යටතේ මෙම ප්‍රදර්ශනය දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්කවල පවත්වනු ලබන අතර ශ්‍රී ලාංකික නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට හදුන්වා දීමටද කටයුතු කෙරෙයි. ගාල්ල දිස්ත්‍රික්කය මුල්කොට ගත් මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට දකුණු පළාතේ දේශීය නිෂ්පාදකයන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වනවිට අපේ රටේ රබර් කර්මාන්තය ආශ්‍රිත ටයර් නිෂ්පාදන කර්මාන්තයත් , සුඛෝපභෝගී යාත්‍රා නිෂ්පාදන කර්මාන්තයත් ඇතුළු කර්මාන්තයන් රැසක් ලෝකයේ අවධානය දිනාගෙන ඇති බවත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය තුල වාහන උපාංග නිපදවීමත් , ඖෂධ නිෂ්පාදන කර්මාන්තය , අගය එකතුකළ ඛනිජවැලි කර්මාන්තය ආදි කර්මාන්ත රැසක් රට තුළ ප්‍රවර්ධනය වෙමින් තිබෙන බවත් සදහන් කළේය.

    එමෙන්ම ඉදිරියේදී කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් රාජ්‍ය ආයෝජනය වැඩි කරනබවත් , ආනයනය කෙරෙන නිෂ්පාදන අමුද්‍රව්‍ය වෙනුවෙන් බදු සහන ලබාදීමටත් , අඩු පොළී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රම නිෂ්පාදකයන් වෙත හදුන්වා දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මේ සියළු දේ හරහා රටේ ආනයන වියදම අඩුකොට , ආනයන ආදේශන වැඩිකොට , නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින්

     

    අපනයන ආදායම ඉහළ නංවා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම එකම අපේක්ෂාව බව අමාත්‍යවරයා අවසාන වශයෙන් සදහන් කළේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා , ගාල්ල දිස්ත්‍රික් පා.ම මන්ත්‍රී සම්පත් අතුකෝරල, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ , රාජ්‍ය නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya