මැයි 18, 2025
tami eng youtube  twitter facebook

    දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතර ආහාර සුරක්ෂිතතාවයට ලෝකයේම අවධානය යොමු විය යුතුයි

    නොවැම්බර් 10, 2022

     දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතර ආහාර සුරක්ෂිතතාවයට ලෝකයේම අවධානය යොමු විය යුතුයි-සෞඛ්‍ය ඇමති World one health සම්මේලනයේ දී කියයි.

    ශ්‍රී ලංකාවේ සිදුවන ස්වභාවික විපත් අවදානම තුළ ඒ ආශ්‍රයෙන් ඇතිවන මරණ මෙන්ම රෝගීන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවීමක් පෙන්නුම් කෙ‍ෙරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    දේශගුණික විපර්යාස වලට මුහුණ දෙමින් ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ලෝකයේම ඉහළ අවධානයක් මේ මොහොතේ එයට යොමු විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.විශේෂයෙන් ආසියාතික කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ කෙරෙහි අවධානය යොමුකර විසදුම් සෙවීම අත්‍යවශ්‍ය යැයි ද අමාත්‍යවරයා කීය.

    සිංගප්පූරුවේ පැවැත්වෙන (World one health) සම්මේලනය (09) ආමන්ත්‍රණය කරමින් අමාත්‍යවරයා මේ බව කීය.

    පසුගිය 07 වන දා ඇරඹුණු මෙම සම්මේලනය ලබන 11 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන අතර එය ලෝක බැංකුව හා සිංගප්පූරුවේ “ තමාසෙත්” පදනම හා එක්ව සංවිධානය කෙරේ.

    මේ යටතේ මානව සෞඛ්‍ය , සත්ව සෞඛ්‍ය හා පාරිසරික සෞඛ්‍ය අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායේ අන්තර් සබඳතාව මුල්කරගනිමින් වඩාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලෝකයට එක් කිරීම සඳහා මෙම සමුළුව අංශ කිහිපයක් ඔස්සේ පැවැත්වේ.

    විශේෂයෙන් ගෝලීය කොවිඩ් ව්‍යසනයෙන් පසු ලොව පුරා රටවල් මෙම අංශ ඔස්සේ මුහුණ දෙන ගැටලු මෙන්ම ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මෙහි සැසි ඔස්සේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරේ.

    එමෙන්ම පරිසරයෙන් සෞඛ්‍ය පද්ධතියට වන බලපෑම මෙන්ම සෞඛ්‍ය ආයතන මගින් පරිසරයට සිදුවන පාරිසරික බලපෑම කෙරෙහිද මෙහිදී අවධානයට යොමු වූ අතර ලොව පුරා රටවල් රැසක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් මේ සඳහා එක්ව සිටි.

    ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ වැඩි ප්‍රමාණයක් කෘෂි ආර්ථිකයට එක්ව තිබෙන බවත් මේ තුළ දේශගුණික, කාලගුණික හා පාරිසරික විපර්යාසයන් හරහා ඇතිවන අවදානමට ඔවුන් ගොදුරු වී ඇති බවත් එය ආහාර සුරක්ෂිතතාවය කෙරෙහිද සෘජු බලපෑමක් එල්ල කරන බවත් රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

    උෂ්ණත්වය ඉහළ යෑම හා ස්වභාවික විපත් මෙන්ම ආහාර ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු මෙවැනි තත්ත්වයන් තුළ ලෝකයේම ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරෙන අතර ශ්‍රී ලංකාවට ද එහි බලපෑමක් ඇති විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙම සමුළුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    21 වන සියවසේ දී කාලගුණ වෙනස්වීම් සෘජුවම මානව සෞඛ්‍ය කෙරෙහි ප්‍රධානව බලපාන බව පෙනී යනවා. ස්වභාවික විපත් අවදානම සහ ඒ ආශ්‍රයෙන් වන මරණ සංඛ්‍යාව ,රෝගීන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවීමක් පෙන්නුමකෙරෙනවා. ශ්‍රී ලංකාවද නිරන්තරයෙන් දේශගුණික විපර්යාස වලට බඳුන්වන පුංචි දූපතකි. ස්වභාවික විපත් කාලගුණික විපර්යාස නිරන්තරයෙන් සිදුවේ. ගංවතුර, නාය යෑම් ඒ අතර ප්‍රධාන වේ. මේවා නිසා සරණාගතයින් වැඩි වීම්, මරණ සංඛ්‍යාව ඉහළ යාම, තුවාල සිදුවීම්, ආසාදන පැතිරීම මෙන්ම ඒවායින් ඇතිවන තත්ත්වයන් මානසික සෞඛ්‍යයට ද සෘජුවම බලපායි.

    මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන මූලික සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා තවදුරටත් මෙසේද පැවසීය.

    කොවිඩ් ව්‍යසනයෙන් පසු මුළු ලෝකයම සෑම අතින්ම කඩාවැටුණු බවත්, සාමූහකව ඉන් නැගී සිටිය යුතු බවත් පැවසීය. පාරිසරික සමතුලිතතාවය රැකගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී නව තාක්ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතු බවත්, ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියට මේ වන විටත් යොමු වී ඇති බවත් පැවසීය.

    මෙම මූලික සාකච්ඡා වටය සඳහා මැලේසියාව, සිංගප්පූරුව හා පිලිපීනය වැනි රටවල සෞඛ්‍ය වෘත්තිකයින්, විද්‍යාඥයින් හා සෞඛ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා සහභාගි වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya