මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රනයක්  

    නොවැම්බර් 12, 2022

    සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රනයක් සැකසීමට කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ අවධානය යොමු වී තිබෙන බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවය සඳහා ප්‍රධාන කාර්ය සාධක දර්ශක (KPIs) ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා උක්ත අනු කමිටුව පසුගියදා (08) කැඳවූ අවස්ථාවේදීය.

    රටේ රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ සේවාවන් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නෛතික බාධාවන් පිළිබඳව මෙන්ම දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්ය සාධක දර්ශක සලකා බැලීමේදී ඒ ඒ ආයතන වලට ආවේනික වෙනස්කම් පවතින බවද මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේය.

    සියලු රාජ්‍ය සේවාවන් සඳහා සමානව ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන කාර්ය සාධක දර්ශකයක් නිර්මාණය කිරීමේ අභියෝගය පවතින බවත්, එයට අමතව මහජනතාවට සේවාවන් සැපයීමේදී වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අදාළ ජාතික ප්‍රතිපත්තිමය යෝජනා ජාතික සභාව හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කර ගැනිම සිය කමිටුවේ අභිප්‍රාය බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    උක්ත කාර්යය සාර්ථකව ඉටු කර ගැනීම සඳහා සියලු දීප ව්‍යාප්ත සේවා නියෝජිතයන්ගේ අදහස්, යෝජනා සහ සහයෝගය අපේක්ෂා කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

    මෙහිදී නිලධාරින් සඳහන් කළේ ප්‍රධාන කාර්ය සාධක දර්ශක සකස් කිරීමට අමතරව දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින ආයතනික ව්‍යුහයේද වෙනස්කම් සිදුකළ යුතු බවයි. එනම් අමාත්‍යාංශ, ඒ ඒ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන අවශ්‍යතා අනුව ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමේ අවශ්‍යතාවයද නිළධාරීහු පෙන්වා දුන්හ.

    මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ අමාත්‍යාංශ 20ක් නිශ්චිතව පවත්වා ගනිමින් ඉතිරි අමාත්‍යාංශ 10 නම්‍යශීලීව ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන බවයි. අදාළ නිශ්චිත අමාත්‍යාංශ 20ට අයත්වන ආයතන, අවශ්‍ය රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව සහ එම රාජ්‍ය අමාත්‍යවරයන් යටතේ පවතින දෙපාර්තමේන්තු මොනවාද යන්න ව්‍යවස්ථාවෙන්ම ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරිම සිය අනු කමිටුවේ අපේක්ෂාව බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    මෙහිදී, වර්ග කිලොමීටර් ලක්ෂ පහක් වන ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය කළමනාකරණය කිරීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක් නොමැති බව පෙන්වාදුන් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය, රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක වීමට මූලික හේතුවක් වී ඇත්තේ රටෙහි ඉලක්කය කුමක්ද යන්න පිළිබඳ සංකල්පයක් නොතිබීම බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු
    සංවර්ධිත රාජ්‍ය යන සංකල්පය මත රාජ්‍ය සේවය සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සුදුසු බවද උක්ත සංගමය කාරක සභාවට යෝජනා කළේය.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි සහ වජිර අබේවර්ධන සහ එම්. රාමේෂ්වරන් යන මහත්ම මහත්මීහු මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංක‍ා පරිපාලන සේවා සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, ශී ලංකා සැලසුම් සේවා සංගමය, රජයේ මිනින්දෝරු සංගමය, ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සේවා සංගමය, රජයේ පෂු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවා උපාධිධාරී සංගමය, රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවා සංගමය නියොජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya