පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සභාවට වාර්තා දෙකක්

    නොවැම්බර් 12, 2022

    ආර්ථික ස්ථායීකරණ වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ පළමු වාර්තාව සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ ප්‍රගතිය දැක්වෙන සාරා‍ංශ වාර්තාව ජාතික සභාවට...

    ජාතික සභාව විසින් පත් කළ,''ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ''පළමු වාර්තාව එම අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්  ජාතික සභාවට ඊයේ ( 10) ඉදිරිපත් කරන ලදී.

    එමෙන්ම, ''කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ''ප්‍රගතිය දැක්වෙන සාරා‍ංශ වාර්තාවක්ද, එම අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික සභාවට ඉදිරිපත් කළේය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් (10) පාර්ලිමේන්තුවේදී ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම වාර්තා ලබා දීම සිදුවිය.

    ''ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ''සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, ක්ෂේත්‍ර නවයකට අදාළව අමාත්‍යාංශ නිලධාරීන් සහ වෘත්තීය මට්ටමේ විශේෂඥයන් අනුකමිටුව වෙත කැඳවා සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව පිළියෙල කළ බවයි. එසේම මෙම අනුකමිටුවේ සම්පූර්ණ වාර්තාව දෙසැම්බර් මාසයේ ලබා දීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

    අදාළ වාර්තාව පිළියෙල කිරීම පිළිබද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුව වෙත  සිය ප්‍රසාදය පළ කරමින් කථානායකවරයා පවසා සිටියේ, මෙම වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන්ට ලබා දීමට පියවර ගන්නා බවයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, මෙම ජාතික සභා අනුකමිටු මගින් ඉදිරිපත් කරන ලද මෙම වැදගත් නිර්දේශ සළකා බලා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අදාළ අමාත්‍යාංශ, ආයතන සමග කටයුතු කළ යුතු බවද, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම ඒ  සඳහා පක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරයන්ගේ සහය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.  

    ''කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ'' ප්‍රගතිය පිළිබදව මෙහිදී අදහස් දක්වමින්, එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රජයන් වෙනස් වීමේදී නොවෙනස්ව පවතින ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ජාතික සභාවට විශාල මැදිහත්වීමක් සිදු කළ හැකි බවයි. අදාළ සියලු ආයතන සම්බන්ධීකරණයෙන්  ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව තම අනුකමිටුව එම කාර්යෙහි නිරතවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    රාජ්‍ය අමාත්‍ය සිසිර ජ‍යකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, රිෂාඩ් බදියුදීන්, ඒ.එල්.එම් අතාඋල්ලා, සාගර කාරියවසම් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya