නොවැම්බර් (14) යෙදී ඇති ලෝක දියවැඩියා දිනය නිමිතිකර ගෙන “දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වලක්වාලමු” යන මැයෙන් අද (14) පෙරවරුවේ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේදී මෙම කරුණු අනාවරණය විය.
දියවැඩියාව නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ රාශියකි. ඒ අතර ඇස්වල අන්ධභාවය ඇතිවීම ප්‍රධාන තැනක් ගනී. මේ නිසා දියවැඩියා රෝගියෙකු වසරකට වරක්වත් අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂාවක් සිදු කළ යුතුයි. මීට අමතරව වකුගඩු අක්‍රීයවීම, අංශභාගය, හෘදයාබාධ වැනි රෝගයවලට ගොදුරුවීමේ අවදානමක් පවතී.
“දැනුවත් වී ආරක්ෂාවීම” මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත. මේ නිසා දියවැඩියාව වැළඳී ඇති රෝගීන් තම රෝගී තත්ත්වය මනා ලෙස පාලනය කර ගැනීමටත්, දැනට රෝගය වැළඳී නොමැති අය රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමටත් කටයුතු කළ යුතුයැයි මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ වෛද්‍යවරු පෙන්වා දෙනු ලැබූහ. යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීම මෙහිදී ඉතාමත් වැදගත් තැනක් ගනී. පිෂ්ඨය අධික ආහාර සහ සීනි අඩංගු ආහාර ගැනීම සීමා කළ යුතු අතරම වෙළඳපලේ ඇති ක්ෂණික ආහාර වර්ග. ලුණු, සීනි, තෙල් අධික ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වෙනුවට හැකි තරම් එළවළු සහ පළතුරු වර්ග, පලා වර්ග සහ කෙඳි සහිත ආහාර වර්ග ආහාර වේලට වැඩි වශයෙන් එක් කර ගත යුතු බව වෛද්‍යවරු වැඩිදුරටත් පැවසූහ.
එමෙන් දිනපතා ව්‍යායාම්වල නිරතවීම, ශරීරයේ උසට සරිලන ලෙස බර පවත්වා ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මෙම රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටිය හැකි බව ඔවුහු අවධාරණය කරනු ලැබූහ.
මහජනතාවට මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා www.diabeticeya.lk යනුවෙන් නව වෙඩ් අඩවියක් දියත් කිරීමද මෙහිදී සිදුවිය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට අවශ්‍ය දැනුම ලබා ගැනීමට සහ ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අවකාශ සැලසේ.
ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික්, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.