2023 අයවැය පිළිබද දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම අයවැය තුළින් සමාජ ආරක්ෂණයක් ලෙස අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරනවා මෙන්ම තරුණයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, සඳහන් කළ ඒ මහතා සම්ප්‍රදායිකව අයවැයකින් බලාපොරොත්තු වන සමෘද්ධිය වැඩි කිරීම, පාන් මිල අඩු කිරීම වැනි ජනප්‍රිය දේශපාලන තීන්දු නැති, තරුණයා ඉලක්ක කරගත්, සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීමේ මූලික වැඩපිළිවෙල මෙය වන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
ඒ අනුව, 2048 දී රට සංවර්ධිත රටක් බවට පත්වනු දැකීමට කැමැති සියලුම මහජන මන්තීවරුන්ට මෙම වැඩපිළිවෙලට එක්වන්නැයි හෙතෙම යෝජනා කරන ලදුව සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මේ අයවැය මගින් හදුන්වා දීමට කටයුතු කරන බවත් පැවසීය.
මේ අයවැයේ දී ද තවත් මුදල් අච්චු ගසා පෙර පරිදි ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට, ලෝකයෙන් ණයට අරගෙන වැටුප් වැඩි කිරීමට හැකි නමුත් එලෙස පෙර කළ වැරදි වත්මන් රජය විසින් තේරුම් ගෙන තිබෙන බැවින් එම වැරැද්දම නැවත සිදු කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත්, එහෙත් පෙර පරිදි ජනප්‍රියවාදී තීන්දු තීරණ ගෙන නොමැති නිසා විපක්ෂයේ දේශපාලඥයින්ට මෙවර අයවැය ලේඛනය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන බවත්, ඒ නිසා ඔවුන් විසින් මේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ගැන නොව සාම්ප්‍රදායික දේශපාලනය කිරීමට උත්සහ කරමින් සිටින බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහි දී පැවසීය.
ඒ අනුව, මේ අයවැය තේරුම් ගැනීමට විපක්ෂය කටයුතු කළ යුතු වන අතර තාවකාලික අල්ලස් දීලා මේ රට ගොඩ ගන්න බැරි බව දශක ගණනාවක අත්දැකීම් සමග අවබෝධ කරගෙන ඇති හෙයින් දේශපාලනික වශයෙන් අවාසිදායක වුවත් එකී තීන්දු බය නැතිව ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන නිසා පටු දේශපාලනය වෙනුවෙන් සංදර්ශනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවත්, වත්මන් රජය ගනු ලබන්නේ ජනප්‍රියවාදී තීන්දු නොව ජනතාවාදී තීන්දු පමණක් බවත්, මෙම අයවැය තුළ සඟවා කතා කළ යුතු දෙයක් නොමැති බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.