පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    යූරියා පොහොර අද සිට සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් බෙදා හැරේ

    නොවැම්බර් 16, 2022

    මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම අද (16) සිට සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ඊයේ (15) දින පෙරවරුවේ කොළඹ වරායට ළඟා වී ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් සහිත නෞකාවෙන් පොහොර ගොඩබෑම නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරු ද සහභාගී වූහ.


    යූරියා පොහොර මලුවලට පිරවීමේදී නියමිත බර සහිත ද යන්න සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස අමාත්‍යවරයා එහිදී එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


    ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා, මේ වනවිට පොහොර සමාගම් දෙකෙහිම ගබඩා සියල්ල පොහොරවලින් පිරීගොස් ඇති බවත්, තවත් පොහොර ගබඩා කිහිපයක් කුලී පදනම මත ලබා ගැනීමට සිදුව ඇති බවත්, සඳහන් කළේය. එමෙන්ම සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යූරියා පොහොර බෙදාහැරීම මේ වනවිටත් සිදු කෙරේ. එමෙන්ම වී වගාවට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම දැනටමත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී තිබේ.


    ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන ගොවි ජනතාවට කාරුණිකව කතා කරන ලෙසත්, ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන නිලධාරීන් ගොවි ජනතාවට ගොවිතැන එපාවන ආකාරයට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් එවැනි නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පවා කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    ඇතැම් ගොවි සංවිධාන යැයි කියා ගන්නා පුද්ගලයින් පිරිසක් ගොවි ජනතාව ගොවිතැනේ නිරත වීම අකර්මන්‍ය කිරීමේ වැඩපිළිවෙලක නිරත වන බව ද ඇමතිවරයා පැවසීය.


    මෙම මාසය තුළ යූරියා පොහොර මෙන්ම MOP පොහොරත් ලැබෙන බැවින් මෙන්ම කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රුපියල් 20,000 ක සහනාධාරයක් ලබාදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟත්වය පළ කළ බව ඇමතිවරයා කීය. එම නිසා මෙවර මහ කන්නයේ දී අවශ්‍ය තරම් රසායනික පොහොර ලැබෙන බැවින් බය නැතිව වගා කරන මෙන් තමන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya