පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන ජනවාරී සිට- අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 18, 2022

    පවත්නා සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් විභාග බර අඩු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන ජනවාරී සිට ඇරඹෙන අතර එහි දර්ශීය කලාපයට මහ කොළඹ ආර්ථික බල ප්‍රදේශය තෝරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    සෑම ජන වර්ගයකට ම අයත් එක්ලක්ෂ අසූහතරදාහක සිසුන් වැඩි ම ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන කොළඹ කලාපය තුළ මේ වනවිටත් එම අධ්‍යාපන පරිවර්තන කාර්යන් සිදු කරන බව අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව පාසල් දිවා ආහාර වැඩසටහන, උපදේශන වැඩසටහන, පාසල් තුළ විෂමාචාර වැළැක්වීමේ වැඩසටහන හා වෘත්තීය පුහුණු මාර්ගෝපදේශන වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අනුග්‍රාහකත්වයෙන් කොටහේන කුමර විද්‍යාලයේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ දහයක් වටිනා වියළි ආහාර තොගයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් එම විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පෝෂණ වැඩසටහනට සමගාමී ව ආනන්ද විද්‍යාලයෙන් දක්වන ලද අනුග්‍රහය පැසසුමට බඳුන් කළ අමාත්‍යවරයා මෙම පාසල් දෙක අතර ආරම්භයේ පටන් ම අවියෝජනීය ආගමික, ආධ්‍යාත්මික හා භෞතික සබඳතාවක් පවතින බව පෙන්වා දුන්නේ ය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රමුඛ පාසලක් විසින් අදාළ පර්ෂද පාසල් පෝෂණය කිරීමේ සංකල්පයට ද ආනන්ද විද්‍යාලය හා කොටහේන කුමර විද්‍යාලය සහ සම්බන්ධ වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් සම්පත් අඩු පාසල්වලට ගුරුවරුන්, වියළි ආහාර, පාසල් උපකරණ වැනි මානව හා භෞතික සම්පත් හුවමාරු කරගනිමින් පිරිමැසුම්දායක ලෙස සම්පත් භාවිත කිරීම ඔස්සේ රටේ පවත්නා ආර්ථික අභියෝග යම් දුරකට ජය ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    ඉන්දියාවේ මධ්‍යම රජය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයක් වෙනුවට මානව සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශ පවතින්නේ ප්‍රාන්තවල බවත් ඒ ඔස්සේ යමින් මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන රාශිය ම ඒකාබද්ධ ව භාවිත කරමින් ඉදිරියේ දී මානව සම්පත් කළමනාකරණයට ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට එම විදුහලේ විදුහල්පති පූජ්‍ය වස්කඩුවේ සුසීම හිමියන්, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. එන්. සිල්වා මහතා සහ කොළඹ ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya