ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උලංඝනය කරමින් නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ ගත කරන පිරිස් , මිනිස් වෙළදාම සහ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක කරන මෙහෙයුම් දැඩි කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර පසුගිය සතියේදී පැවති සාකච්ඡාවකදී තීරණය කළ අතර ඒ අනුව දීප ව්‍යාප්තව වැටලීම් සිදුකෙරේ.
ඕමාන්හි රැකියා සදහා නීත්‍යානුකූල නොවන ආකාරයට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් රැගෙන ගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණි. ඒ අනුව අද උදෑසන අබුඩාබි සිට ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොලේදී මොහු අත්අඩංගුවට ගෙන කටුනාය පොලීසියට භාරදී තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් හතර හැවිරිදි පුද්ගලයෙකි.
කටුනායක පොලීසියෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් සැකකරු භාරගැනීමට නියමිත අතර අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මෙම පුද්ගලයා හරහා ලංකාවට ලැබෙන රැකියා ඇබෑර්තුවලින් කාන්තාවන් ඩුබායිහි රැකියා සදහා යොමු කර තිබේ. එතැන් සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය වන ආකාරයට කාන්තාවන් ඕමානය බලා රැගෙන ගොස් ඇති බව මේ වන විට පැවැත්වූ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාට එරෙහිව මිනිස් වෙලදාම සම්බන්ධයෙන් වන චෝදනා ගොනු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටී.