මෙහිදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2 පමණ මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් මෑතකදී එය සත 5ක් දක්වා වැඩි කළද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12 ක් 14 පමණ වන බවත් ය.
මේ නිසා එම වියදමට සරිලන ආකාරයෙන් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ. මේ පිළිබඳ සාකච්ඡා වූයේ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (17) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළ ද ජල සම්පාදනය සඳහා යන වියදම පෙර තිබූ ප්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩි වී ඇති බවයි. එම නිසා වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට අපහසු තත්ත්වය මත මෙසේ ජල ගාස්තු සංශෝධනය කිරීම මගින් යම් ආකාරයකින් මුදල් ඉතිරියක් සිදු වන්නේ නම් එම මුදල ජල ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ හැකි බවද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. මෙහිදී සමෘද්ධි ලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද පානීය ජල බෝතල් වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.