රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට අදහස් දැක්වූ ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් ගෙවීම ඇතුලු පුනරාවර්ථන වියදම් සඳහා රුපියල් බිලියන 184ක් වෙන් කරනු ලැබූ බවත්, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කරනු ලැබූ බවත්, අමාත්‍යවරයා පැහැදිළි කළේය. පාසල් සිසුන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බවත්, පාසල් පෙළපොත් සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය. ඉකුත් වසරේ පෙළපොත් සඳහා වෙන්කරනු ලැබුවේ රුපියල් බිලියන 4.5ක් පමණක් බවත් එය ප්‍රමාණවත් නොවූ බවත්, පසුව ඉන්දියන් ආධාර යටතේ මෙරටට ගෙන ආ මුද්‍රණ කඩදාසි යොදාගෙන පෙළ පොත් නිර්මාණය කළ බවත්, සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ඒ අනුව ප්‍රතිපූර්ණය කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කළ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. මෙවර පාසල් නිල ඇඳුම් නොමිලේ බෙදාදීම සඳහා රුපියල් මිලියන 3500ක් වෙන් කළා බවත්, ඒ සඳහා වන රෙදිපිළි වලින් 70%ක් චීනයෙන් ගෙන්වන බවත්, එහි පළමු තොගය මේ වසරේ දෙසැම්බර් මස ලැබෙන බවත්, අනෙක් තොගය ලබන ජනවාරි මසදී ලැබීමට නියමිත බවත්, මෙරටින් සපුරාගත යුතු වන්නේ ඉතිරි 30% බවත්, එයින් 10% ගබඩාවල ඇති බවත්, ඉතිරි 20% සඳහා ටෙන්ඩර් කැඳවා ලබාදීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම දුෂ්කර පාසල්වල සිසුන් සඳහා පාවහන් ලබාදීමට රුපියල් මිලියන 1200ක් වෙන් කළ බවද අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව 5වසර ශිෂ්‍යත්වය සඳහා රුපියල් මිලියන 938ක්, මහපොළ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 1725ක් යෙදවීමට නියමිත බවත්, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනීම සඳහා ලංකා බැංකුවෙන් ණය ලබාගත් සිසුන්ගේ ශිෂ්‍ය පොළී අනුපාතය පියවීම වෙනුවෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කර ඇති බවත්,පාසල් හා උසස් අධ්‍යාපන මාසික ගමන් වාර ප්‍රවේශපත්‍ර සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කළ බවත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
පාසල් පෝෂණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 19 100ක් වෙන් කළ බවත්, ඒ අනුව ලබන වසරේදී පාසල් දරුවන්ගෙන් 50%ක් රජයේ පෝෂණ වැඩසටහනට ඇතුලත් කරගැනීම අපේක්ෂා කළ බවත්, අමාත්‍යවැයා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පෙර පාසල් සඳහා රුපියල් මිලියන 1450ක් වෙන් කර ඇති බවත්, එයට අමතරව පළාත් සභා සහ පළාත් පාලන වැය ශීර්ෂය යටතේ ලැබෙන ප්‍රතිපාදනවලින් 40%ක් පළාත් පාසල් සඳහා වෙන් කර ඇති බවත්ය.
ලෝක බැංකු ආධාර යටතේ අධ්‍යාපනයට ඉදිරි අවඅරුදු 4 සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 400ක් ලැබී ඇති බවත්, එය වසරකට ඩොලර් මිලියන 120 සිට 80 දක්වා අඩුවන පරිදි ලැබුනු බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම GEM (ජෙම්) හෙවත් අධාපන නවීකරණ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආධාර ලැබී ඇති බවත්, පලාත් සභා සහ මධ්‍යම රඩය යන දෙකම එය යොදාගන්නා බවත්, එමගින් ගුරුවරුන් පුහුණු කිරීම,අධ්‍යාපන සෞඛ්‍ය පහසුකම් යන ඒවාකෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අයවැය ප්‍රතිපාදන බෙදීයන ආකාරය පැහැදිළි කරමින් ආයතන 05ක් යටතේ මෙම ප්‍රතිපාදන බෙදීයාම සිදුවන බවත්, ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම, තාක්ෂණ අධ්‍යාපන පිළිබඳ දෙපාර්තමේන්තුව හා ජාතික අධ්‍යාපන කොමිසම යන ඒවා යටතේ මෙම ප්‍රතිපාදන බෙදීයම සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.