පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    බලපත්‍ර ඉකුත්වූ හෝ බලපත්‍ර රහිතව විදේශ රැකියා ඒජන්සි පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් විමර්ශන

    නොවැම්බර් 21, 2022

    විදේශ රැකියා ලබාදෙන ආයතන සම්බන්ධයෙන් නිරන්තර පැමිණිලි ලැබෙමින් පවතින බවත්, බලපත්‍ර ඉකුත්වූ හෝ බලපත්‍ර රහිතව විදේශ රැකියා ඒජන්සි පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් රටපුරාම විමර්ශන පවත්වන බවත්, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන කළමණාකාර කපිල කරුණාරත්න මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (21) “ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඕමාන් රටේ දී අපහසුතාවය පත් කිරීම් සිද්ධි සම්බන්ධයෙන්” පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර කල් ඉකුත් වූ විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලෙසය. බලපත්‍ර නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යන පිරිස සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කරන බවත්, ඒ අනුව (ඊයේ) 20දා පුද්ගලයන් 4 දෙනෙකු බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත්, විදේශිකයකුද ඇතුළුව අත්අඩංගුවට ගත් එම පිරිස අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවත්, කපිල කරුණාරත්න මහතා පැවසීය.

    ඇතිවූ විදේශ රැකියා ඉල්ලුම් ප්‍රවණතාවයත් සමඟ සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්වීමේ ප්‍රවනතාවක් ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගෙන ඇතිවූ බවත්, ඒ සමඟම ඒ හා බැඳුනු ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගත් බවත්, ඒ අනුව මේ පිටුපස සිටින බලපත්‍ර නොමැති සහ බලපත්‍ර සහිත සම්බන්ධයෙන් විමර්ශනය කරගත් බවත්, කපිල කරුණාරත්න මහතා පැවසීය.

    මෙම විමර්ශන ඔස්සේ මේ වන විට පුද්ගලයින් 69 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම
    අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් අධීකරණවලට නඩු 199ක කරුණු මේ වන විට වාර්තා කර ඇති බවත්, කපිල කරුණාරත්න මහතා පැවසීය.

    මීට අමතරව නීති විරෝධී අයුරින් විදේශ රැකියා ලබාදෙන ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ස්ථාන 25ක් මේ වන විට වැටලීම් කර අත්අඩංගුවට ගෙන අධීකරණයට යොමුු කර තිබෙන බවත්, බලපත්‍ර සහිතව විදේශ රැකියා ආයතන පවත්වාගෙන යන ආයතන 17ක් විදේශ රැකියා නීති කඩකිරීම හේතුවෙන් ඔවුන්ගේ බලපත්‍ර ස්ථිර වශයෙන්ම අවලංගු කිරීමට කටයුතු කළ බවත්, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන කළමණාකාරවරයා පැවසීය.

    මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සෙවීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම සහ සමුද්‍රීය අපරාධ අංශයේ නිලධාරීන් එක්ව විශාල මෙහෙයුමක් කරමින් පවතින බවත්, ඒ අනුව මෙම ජාවාරම් පිටුපස සිටින ප්‍රධාන සැකකරුවකු පසුගිය දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවත්වාගෙන යන බවත්, ඔහුට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවත්, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන කළමණාකාර කපිල කරුණාරත්න මහතා අනාවරණය කළේය.

    මේ වන විට විදේශ රැකියා ජාවාරම පිටුපස සිටින තැරැව්කරුවන් හා ජාවාරම්කරුවන් සියලු දෙනා හඳුනාගෙන ඇති බවත්, ඉදිරියේදී ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීමට සූදානම් බවත් කපිල කරුණාරත්න මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya