එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට අද (25) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව එදින පෙ.ව. 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට ඇති බවත් පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත් ද්විත්වය විවාදයට ගැනීමට නියමිත බවත් මහලේකම්වරයා පැවසීය. තවද එදින ප.ව. 5.00 සිට 5.30 දක්වා ආණ්ඩුපාර්ශ්වය විසින් ගෙන එන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
මීට පෙර දෙසැම්බර් 09 සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට තිබූ අතර මේ අනුව එය දෙසැම්බර් 10 දින පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
මේ අතර ලබන 30 වැනිදා 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයෙන් පසු 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතව ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.