නමුත් රජය මහා සංඝරත්නයට අපහාස කරන බවට විපක්ෂය විසින් මතවාදයක් හැදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. මිනිස්සු සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරු කරන බවත්, චීවරය ඇඳගෙන පාටි දමන භික්ෂූන්ට ගරු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) මේ බව කීවේය.
එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර ඇතිවූ කතා බහ මෙසේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා - සංඝ සමාජය නිර්මාණය වී තිබෙන්නේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රධායකට අනුවයි. එදා රට කළ රජවරුන්ට අර්ථයෙන් හා ධර්මයෙන් අවවාද අනුශාසනා ලබාදුන්නේ
සංඝරත්නයයි. සර්පයා සමඟත්, ගින්න සමඟත්,යසස් ඇති රජ කුමරු සමඟත්, සිල්වත් භික්ෂුව සමඟත් හොඳින් හැසිරිය යුතු බවට ධම්ම පදයේ සඳහන් වෙනවා. දැන් පාලකයෝ මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරනවා. මහා සංඝරතන්යට ඒ අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙනවා. සංඝ සමාජයේ බලය ස්වාධීනත්වයයි. බුදු හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ධර්ම විනය ප්‍රතිපත්තිය තුළ ධර්මානුකූලව හැසිරෙන්න කියලයි. රජතුමාට අනුවර්ථනය වන්න, නමුත් ඔවුන් කියන සියලුම දේ අනුමත නොකරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කළා. සමහර පාලකයෝ හිතනවා තමන් කියන දෙය මහා සංඝරත්නය අසාගෙන සිටිය යුතුයි කියල. ඒ නිසා මහා සංඝරත්නය නින්දා, අපහාස කරන අයට මම කියන්න කැමතියි පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා. ඒ නිසා “සිවුරු ඇඳගත්ත බට්ටො” යනුවෙන් මහා සංඝරත්නය ආමන්ත්‍රණය කිරීම නුසුදුසුයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග
(ශ්‍රී.ල.පො.පෙ) - ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමා මහා සංඝරත්නය පිළිබඳව සඳහන් කළ කාරණාව ගැන කතා කරන්න කැමතියි. අපි කිසිම ආගමික නායකයකුට අපහාස කරන්න කැමති නැහැ. චීවරය ඇඳගෙන දවල්ට අරගල කරන අය රෑට පාටි දාන ආකාරය අපි ෆේස්බුක් එකේ දකිනවා. ඒව දකිනකොට මිනිස්සුන්ට මහා සංඝරත්නය කෙරෙහි තියෙන ගෞරවය නැති වෙනවා. නමුත් සීලය රකින භික්ෂූන් වහන්සේලාට කවුරුවත් අපහාස කරන්නෙ නැහැ. 88/89 කාලයේදී ප්‍රේමදාස මහත්තයා චීවරය ඔතල ටයර් සෑයවල්වල පුච්චලගඟේ පාකරන කොට ඔය කතාව කියන්න කෙනෙක් හිටියනම් ලොකු දෙයක්.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - ගරු කතානායකතුමනි, මේ කතාව නිසා මහා සංඝරත්නය ලොකු කළකිරීමකට ලක්වුණා. ඒක කියන විදියක් තියෙනවා. කෙලෙස් උපදවන වචන දහසකට වඩා කෙලෙස් දුරලන එක වචනය වැදගත් වෙන බව ධම්මපදයේ සඳහන් වෙනවා. අපි මහා සංඝරත්නයටත්, චීවරයටත් සලකන්න ඕන. මහා සංඝරත්නය විවේචනය කරන්න, වාද විවාද කරන්න යන්න හොඳ නැහැ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.ල.පො.පෙ) - විපක්ෂනායකතුමනි, අපි මහා සංඝරත්නයට අපහාස කළේ නැහැ.නමුත් ඔබතුමන්ල මතවාදයක් හදන්න හදනවා. ස්වාමීන් වහන්සේලා කරන යම් යම් කාරණා ගැන මහා නායකහිමිවරුන් කතා කරනවා. මගේ නිවස ගිනි තියන්න එක ස්වාමීන් වහන්සේ නමක් මැදිහත් වුණා. නමුත් මම කිව්වේ එක හාමුදුරු නමක් එහෙම කරාට හැමෝම එහෙම නෑ කියලයි. අපි මහා සංඝරත්නයට ගරු කරනවා. 88/89 එහෙම කරන්න වුනේ ඇයි? කියල අපි හිතන්න ඕන.