වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් නොවුණු බවත්, කම්කරුවා පොහොසත් කිරීමට නම්, ව්‍යවසායකයා ආරක්ෂා කරගත යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ‘මේ ලෝක ආර්ථික අර්බුදයේ දී ලංකාව මේ තරම් බරපතල විදියට කඩා වැටෙන්න හේතුව වුණේ ව්‍යවසායකයන් ආරක්ෂා නොකරපු නිසා. හැමදාම නීති අරගෙන ඇවිත්, නීතිවලින් කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම අද කම්කරුවා ආරක්ෂිතද? ව්‍යසායකයා ශක්තිමත් නම් කම්කරුවා ආරක්ෂිතයි‘ යනුවෙන් ද පැවැසීය.
අමාතවරයා මෙසේ පැවසූයේ අද දිනට (03) නියමිත ව තිබූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.
අපි මේ ඉන්නේ ක්‍රෝනි කැපිටලිසම් මත පදනම්වූ ආර්ථිකයක. ඒ තමයි ගජමිතුරු ධනවාදය. මෙන්න මේ නිසා තමයි සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මත පදනම්වූ නව ආර්ථික ක්‍රමවේදයක් අය වැය හරහා අරගෙන ඇවිත් තියෙන්නේ. මේක මෙච්චර කල් ඉදිරිපත් කළා වගේ නිකම්ම නිකම් හුදු අය වැයක් නෙමෙයි. මේ අය වැය කියන්නේ අය වැයක් ඇතුලේ සිදුවෙන සිස්ටම් චේන්ජ් එකක්.
ගොඩක් අය කැමැති නෑ මේක භාර ගන්න. ගොඩක් රෙද්ද අස්සේ මහත්තයලනේ ඉන්නේ. රෙද්ද අස්සේ කලිසම ඇඳගෙන ඉන්නවා, හැබැයි උඩින් රෙද්ද ඇඳන් ඉන්නවා. රෙද්ද පෙන්ගෙන ඉන්නවා. කලිසම අඳින්න ඕනෑ. හැබැයි පෙන්නන්නේ වෙන දෙයක්.
මෙතෙක් කල් අය වැයක් ඉදිරිපත් කළාට පස්සේ තිබුණේ ඒකත් එක්ක බැදුන වැඩපිළිවෙලක්. මේ අය වැයත් එක්ක බැදිලා තියෙන්නේ නිකම්ම නිකම් වැඩ පිළිවෙලක් නෙමෙයි. මේකත් එක්ක බැදිලා තියෙන්නේ සමාජ සහ ආර්ථික පරිවර්තනයක්. සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් ට්‍රාන්ෆමේෂන් එකක්.
විවෘත ආර්ථිකය අසාර්ථකයි කියලා අපි කියන්නේ ඇයි? අපි එහෙම කියන්නේ මෙන්න මේ ක්‍රෝනි කැපිටලිසම් නිසා. සංවෘත ආර්ථිකයේ ඉදලා විවෘත ආර්ථිකය දක්වා එකවර එන්න අපිට බැරි වුණා. සංවෘත ආර්ථිකයේ කොටස් අපිට අතහැර ගන්න බැරිවුනා. ආර්ථිකය විවෘත වුනේ කුඩා කණ්ඩායමකට විතරයි. ඒ කුඩා කණ්ඩායම තමයි රටේ ආර්ථිකයේ විශාල කොටසක් අත්පත් කරගන්තේ. විවෘත ආර්ථිකය අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේක. ඒ වගේ විවෘත ආර්ථිකයේ අසාර්ථකත්වයන් තිබෙන නිසා තමයි අපි ඒ ක්‍රමවේදයන් මේ අය වැය හරහා වෙනස් කරන්නේ.
අර චීන කතාවක තියෙනවා වගේ බඩගින්නේ ඉන්න මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට මාළු අල්ලලන විදිය කියාදෙන අය වැයක් මේක. ඒ කියන්නේ ප්‍රතිලාභ වෙනුවට ක්‍රමවේදයක්. මේක තමයි අපේ දැක්ම. අපේ අරමුණ. අපේ ක්‍රියාකාරකම. එහෙම අය වැයක් මේ ඉතිහාසයේ කවදාවත් ඉදිරිපත් කරන්නේ නැතිව ඇති. ඒක නිසා තමයි මේක සිස්ටම් චේන්ජ් කරන අය වැයක් කියන්නේ.
මිලියන 7.5ක් ශ්‍රම බලකායක්, ලක්ෂ තුනක්වත් නැති ව්‍යවසායකයින්, ලක්ෂ දහයකට වඩා වැඩි විදේශ ගත ශ්‍රමිකයින්, අපේ දත්ත ප්‍රක්ෂේපණය අනුව මයිග්‍රන්ට් වර්කර්ස්ලා වෙන්න බලාපොරොත්තු වෙන මිලියන එකයි දශම හතයි අටක් වන මේ හැම කොට්ඨාශයක් සමග සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ සමාජ ආරක්ෂණය, ආර්ථිකය නිසි වැඩපිළිවෙලක් සහිතව කළමනාකරණය කරලා, රටේ සමාජ ආර්ථික පැවැත්ම තහවුරු කිරීම තමයි අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය වෙන්නේ.
මට කලින් මේ අමාත්‍යාංශයේ හිටපු ඇමැතිතුමා, මේ අවුරුද්ද මුලදී සේවකයෙක් සිය සේවා කටයුතුවල යෙදෙමින් සිටියදී, සිදුවන අනතුරක් හේතුවෙන් ගෙවනු ලැබූ වන්දි මුදල රුපියල් පන්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් මිලියන දෙකක් දක්වා ඉහළ දැමීම සදහා වන පනත් සංශෝධනය කළා.
ඒ වගේම කම්කරු නීති උල්ලංඝනය වූ විට සහන ලබාගැනීම සදහා අධිකරණයේ සිදුවන නඩු ප්‍රමාදය වැලැක්වීමට මහේස්‍රාත් බලතල කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරුන්ට පැවරීමට 2022 අංක 19 දරණ කාර්මික ආරවුල් පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළා.
හාම්පුතුන් විසින් සේවකයින් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ විට කම්කරු විනිශ්චය සභා ඉදිරියේ නීතීඥයින් නොවන සේවක නියෝජිතයින්ට පෙනී සිටීමට බලය පවරන 2022 අංක 22 දරණ කාර්මික ආරවුල් සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළා.
මෙච්චර කල් ආපු හැම කම්කරු ඇමැතිවරයෙක්ම බැලුවේ කම්කරුවා ගැන විතරයි. එදා ඉදලා ලංකාවේ කම්කරුවා වෙනුවෙන් පෙනී සිටියේ වාමාංශිකයින්. කම්කරුවාගේ අයිතිය අරගෙන හිටියේ වාමාංශික ව්‍යාපාරය. ඒ නිසා තමයි කම්කරුවා හැමදාමත් දුප්පත්. මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් වුණේ නෑ. කම්කරුවා පොහොසත් කිරීමට නම්, ව්‍යවසායකයා ආරක්ෂා කරන්න ඕන. ලංකාවේ විධිමත් අංශයේ ව්‍යසායකයින් ලක්ෂ තුනක් වත් නෑ. වැට් ලිපි ගොනු තියෙන්නේ නමදහස් අසූවයි. සමාගම් විදියට ආදායම් බදු ගෙවන සමාගම් තියෙන්නේ හැට අට දහසයි. බදු ලිපි ගොනු තියෙන්නේ තුන්ලක්ෂ අටදහසයි.
මිලියන 22 ක ජනගහනයකින් ව්‍යසායකයින් සියයට 1.5ක්වත් නෑ. මේ ග්ලෝබල් ඔන්ටප්‍රනර්ශිප් නෙට්වර්ක් ආයතනය ඉදිරිපත් කරපු අලුත් සංඛ්‍යාලේඛන. මෙහෙම වෙලා තියෙන්නේ මෙච්චර කල් තිබුණ රජයන් කම්කරුවා වෙනුවෙන් විතරක් වැඩ කරපු නිසා. කම්කරුවාගේ සුභසාධනය ගැන විතරක් හිතපු නිසා, ව්‍යවසායකියන් ගැන හිතපු නැති නිසා ලංකාවේ ඉන්නේ කොතරම් පොඩි ව්‍යවසායකයින් සංඛ්‍යාවක් විතරද කියලා හිතලා බලන්න. මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ කම්කරුවා විතරක් සුරක්ෂිත කළාම හැම දේම හරි යනවා කියලයි. කම්කරුවා ආරක්ෂා කරන්න නීති ගෙනාවා. ව්‍යවාසයින් පීඩාවට පත් කළා. ව්‍යවසායකයා අතහැරියා. එහෙම හිතලා වැඩ කළා කියලා කම්කරුවා ආරක්ෂා වුනාද?
අද ලෝක ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. මේ ලෝක ආර්ථික අර්බුදයේදී ලංකාව මේ තරම් බරපතල විදියට කඩා වැටෙන්න හේතුව වුනේ ව්‍යවසායකයින් ආරක්ෂා නොකරපු නිසා. හැමදාම නීති අරගෙන ඇවිත්, නීතිවලින් කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම අද කම්කරුවා ආරක්ෂිතද? ව්‍යසායකයා ශක්තිමත් නම් කම්කරුවා ආරක්ෂිතයි.
1995 වන විට අපි තේ කර්මාන්තයේ ලෝකයේ අංක එකට හිටියේ. 2020 වන විට අපි අංක හතරට වැටිලා. අපි අංක එකට ඉන්න කාලයේදී කම්කරුවාගේ වැටුප රුපියල් 95 යි. අද වැටුප රුපියල් 1000යි. ඒ රුපියල් දාහ මදි. වතු කම්කරු වෘත්තීය සමිති වැටුප රුපියල් 3000ක් දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ ඉල්ලීම සාධාරණයි. වතු කම්කරුවාගේ වැටුප රුපියල් 3000 නෙමෙයි, රුපියල් 4000 ක් 5000ක් කරන්න ඕන. ඒක අපි දන්නවා. එහෙම කරන්න පුලුවන් තරමට ව්‍යවසායකයා ශක්තිමත් කරන්න ඕන.
ඒ විදියට හිතලා අපි ව්‍යවසායකයා ආරක්ෂා නොකරපු නිසා වැවිලි ක්ෂේත්‍රෙය් ටූල්ස් ඩිවලොප් වුනේ නෑ. ශ්‍රමිකයාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුනා. ඒ නිසා තමයි අදටත් ඇතැම් තේ වතුවල, තේ කර්මාන්ත ශාලාවල සේවකයින් විදුලි සැර වැදී මිය යාමේ සිදුවීම් වාර්තා වෙන්නේ.
ව්‍යවසායකයා ගැන බලන්නේ නැතිව අපි කටයුතු කරපු නිසා නූතන වැඩ ලෝකයට ගැලපෙන විදියට, වර්ල්ඩ් ඔෆ් වර්ක් එකට ඕන විදියට ගැලපෙන විදියට කම්කරුවෙක් හදන්න අපිට බැරි වුණා. අපි නූතන වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් හදන්න, වැඩ්ඩෙක් හදන්න තමයි මම මේ අමාත්‍යාංශය භාරගත් දවසේ ඉදලා වැඩ කරන්නේ. ඉතිහාසයේ කම්කරු අමාත්‍යාංශයට පත්වුන ලාබාලතම කම්කරු ඇමැතිවරයා විදියට ලෝකයට ගැලපෙන නූතන ශ්‍රමිකයා නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා.
නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරුවා බිහි කිරිමටත්, ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම හරහා කම්කරුවාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අපි කටයුතු කරනවා. විදේශ ආයෝජකයයෙක්, ව්‍යවසායකයෙක් රටකට ඇවිත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් ඒ රටේ තියෙන කම්කරු නීති ගැන අවධානය යොමු කරනවා. අලුත් ආයෝජනයක් කරන විට එම ව්‍යාපාරය වසා දමන විදිය ගැන අවධානය යොමු කරනවා. අපේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කනරවාට වඩා වහන එක අමාරුයි.
අපේ රටේ ඕනවටත් වඩා කම්කරු නීති තියෙනවා. අපිට තියෙන කම්කරු නීතිවලින් බොහෝමයක් යටත්විජිත යුගයේදී අරගෙන ආපු කම්කරු නීති. එදාට වඩා අද ලෝකය කොතරම් ඉදිරියට ගිහින්ද? එදා තිබුණ තත්වයන්ට වඩා අද තිබෙන ලෝක තත්වයන් කොතරම් සංකීර්ණද? ඒත් අපි යල්පැන ගියපු කම්කරු නීති කර මත තියාගෙන ඉදිරියට යනවා.
විවිධ කම්කරු පනත් තිස් අටකට වැඩියෙන් අපිට තියෙනවා. එයින් පනත් දහසයක් නිතරම කම්කරුවා සමග ගැටෙන ඒවා. මේ සමහර පනත්වල තියෙන කරුණු එකිනෙකට පස්පරයි. ඇතැම් පනත්වල වගන්ති එකිනෙකට ගැටෙනවා. ආයෝජකයෙක් ලංකාවට ආවම රටේ කම්කරු නීතිය මොකක්ද කියලා එකවර සොයාගන්න බැහැ. ඒ නිසා අපි ආයෝකයින්ට ආරක්ෂාව ලබාදෙන, ව්‍යාපාර ආරක්ෂා කරන, ඒ හරහා කම්කරුවාගේ ආරක්ෂාව තහවුරු කරන එක් කම්කරු නීතියක් ගෙන ඒමට කටයුතු කරනවා. ආසියා පැසිපික් කලාපයේ දියුණුවූ රටවල කම්කරු නීති ක්‍රියාත්මක වන ආකාරය ගැනත් මෙහිදි අපි අවධානය යොමු කරමින්, අපේ රටට ගැලපෙන ආකාරයේ එක් කම්කරු නීතියක් හදනවා.
ඒ අතර කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය වගේ අදට ගැලපෙන්නේ නැති, රජයේ මුදල් කාබාසිනියා කරන ආයතන සම්බන්ධයෙන්ද දැඩි තීන්දු ගන්නවා.
ඒ වෙනුවෙන් වැඩ කරන අතරවාරයේදී කම්කරු දෙපාර්තමේන්තුව විදියට වැඩ කටයුතු රාශියක් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මම කම්කරු ඇමැතිවරයා විදියට මේ අමාත්‍යාංශයට එන විට හැමදාම උදේට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට ලොකු පෝලිම් තිබුණා. ඒ සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීම සදහා වන අයදුම්පත් භාරදීමේ පෝලිම. ඊ.පී.එෆ්. ඇපෝයින්මන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා සැප්තැම්බර් 1 වැනිදා සිට මේ පෝලිම අපි නැති කළා. කම්කරුවන්ට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් කාර්යාලයකට ඇවිත් කොල පුරවලා පැමිණිලි දාන ක්‍රමයත් අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. අන්තර්ජාලය හරහා පැමිණිලි ලබාගැනීම කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කළා.
ලබන අවුරුද්ද වන විට ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු ඩිජිටල් කිරීමට අපි කටයුතු කරනවා.
ඒ අතරේ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ශ්‍රමිකයා වෙනුවෙන් වන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි. දැන් කිසියම් සේවකයෙක්ගේ සේවය අවසන් වුනොත් ඔහු කම්කරු දෙපාර්තමේන්තුවට ඇවිත් පැමිණිල්ලක් දාලා අවුරුදු ගණන් නඩු කියනවා. අපි මේ ක්‍රමයට තිත තියනවා. කිසියම් පුද්ගලයෙක්ගේ රැකියාව අහිමි වුනොත් මාස තුනක් යන තෙක් ඔහුගේ වැටුප ලබාදීම සදහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා. රටම ඩිජිටල්කරණයකට යන විටදී, වන් ඩිජිට් එකක්, එහෙම නැතිනම් උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා වන සියල්ලටම එක් අංකයක් ලබාදෙනවිට මේක වඩාත් පුලුල් කරන්න පුලුවන්. රැකියාවක් අහිමිවීමේදී විතරක් නෙමෙයි, රෝගී වූ විටදී පුද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමටත්, අනතුරක් සිදුවූ විටදී වන්දියක් ලබාදිම දක්වා වූ තැනකටත් අපි මේ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය අරගෙන යනවා. ව්‍යසායකයින්ගේ දායකත්වයද සහිතව පිහිටුවන සමාජ ආරක්ෂණ අරමුදලක් හරහා රජයට බරක් නොවී, ව්‍යවසායකයයාටත් බරක් නොවී ශ්‍රමිකයාගේ සමාජ ආරක්ෂණය අපි සහතික කරනවා.
රටේ ශ්‍රම බලකාය ගැන කතා කරන කවුරුවත් මේ ඉන් බවුන්ඩ් ලේබර් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නෑ. මොක්කද මේ ඉන්බවුන්ඩ් ලේබර් කියලා කියන්නේ. එක එක රටවලින් ඇවිත් අපේ රටේ ලොකු ඉදිකිරීම් වැඩපොළවල්වල ශ්‍රමිකයින් වැඩ කරනවා. මේ අය වීසා අරගෙන ලංකාවට එනවා. ඔවුන් නියාමනය කරන්න කවුරුවත් කටයුතු කරන්නේ නෑ. අපි ඉදිරියේදී ඔවුන් අපේ ෆරේම් වර්ක් එකක් ඇතුළට අරගෙන ඇවිත් ඔවුන්ගේ නියාමනය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් වැඩ කරනවා.
ගරු කතානායකුතමනි,
අපි දැන් මාස දෙකකට කලින් රටේ ආර්ථිකය සවියක් දෙන්න ග්ලෝකල් කියලා ඉවෙන්ට් එකක් කළා. දේශීය විදේශීය ශ්‍රම වෙළදපොල වෙනුවෙන් අපි කරපු එම වැඩසටහන කළේ භාණ්ඩාගාරයට සත පහකවත් බරක් වෙන්නේ නැතිවයි. එතැනදී විදේශ රැකියා සදහා මූලික සුදුසුකම් ඇති බවට 10873 දෙනෙක් හදුනාගත්තා. වෘත්තීය මාර්ගෝපදේශන සදහා 1257 ක් ලියාපදිංචි කරගත්තා.
ඒකේදී මම ආපු ළමයින්ගෙන් ඇහුවා, ඕගොල්ලෝ කවුරු වෙන්න කැමැතිද ඇහුවා. නිදහසෙන් පස්සේ අවුරදුු 74ක් තිස්සේ අපි අහන සුපුරුදු කතාව ඒ ළමයි කිව්වා. ඒ ඇයි? කවුරුවත් කම්කරුවෙක් වෙන්න කැමැතියි කියලා කිව්වේ නෑ. පොඩි ළමයා දක්වාම හැම කෙනෙක්ගේම ඔලුව හදලා තියෙන්නේ කම්කරුවා කියන්නේ සමාජ ආරක්ෂාවක් නැති අයෙක් විදියට. ඒ නිසා කවුරුවත් කම්කරුවෙක් වෙන්න කැමැති නෑ. අර දියුණු රටවල වගේ ආරක්ෂිත ඇදුම් ඇදගෙන, සේෆ්ටි ගියර්ස් පාවිච්චි කරලා ඉන්න කම්කරුවෙක් ගැන අපේ රටට කිසිම අදහසක් තිබුණේ නෑ. මම කම්කරු අමාත්‍යාංශයට ඇවිත් කරන්නේ මෙන්න මේ චේන්ජ් එක.
මගේ අමාත්‍යාංශය යටතේ තියෙනවා ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය. නියෝෂ් එක. භාණ්ඩාගරයට සත පහකවත් බරක් වෙන්නේ නැති, භාණ්ඩාගාරයට මුදල් ලබාදෙන ආයතනයක්. අපේ රටේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන තීන්දු කිහිපයක් අපි අරගෙන තියෙනවා. මින් ඉදිරියට සේවකයින් සියයකට වඩා සේවය කරන ආයතනවලට සේෆ්ටි ඔෆිසර් කෙනෙක් පත් කිරීම අනිවාර්ය කරන නීති මම අරගෙන එනවා. ඒ සදහා අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීමට අපිට නියෝෂ් එක තියෙනවා. ඉදිරිය්දී නියොෂ් එක වරලත් ආයතනයක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.
අපි මෙච්චර කල් අවුට් පුට් එක බැලුවෙත් නෑ. අවුට්කම් එක බැලුවෙත් නෑ. අපේ රාජ්‍ය සේවකයා ගැන බැලුවේ වෙලාවට වැඩට එනවාද. වෙලාවට යනවාද සාරිය ඇදගෙන එනවාද කියලා විතරයි. වැය වන ඉන්ධන ප්‍රමාණය බැලුවේ නෑ. බැලුවේ සංඛ්‍යාල්ඛණ ගණනක් විතරයි. නොම්බර විතරයි තියෙන්නේ.මේ රාජ්‍ය සේවකයින්ට වගු ටිකක් එවලා ඒවා පුරවලා එව්නන කියලා කියනවා. කිකිළියෝ කී දෙනෙක් දුන්නද, ඇට පැකට් කීයක් දුන්නාද, කියලා බැලුව් ප්‍රෙෆෝමන්ස් ගැන බැලුවේ නෑ. මේ අය උත්ප්‍රේරණය කරන විදියක් තිබුණා නම් උනන්දුවෙන් වැඩ කරනවා. ඒත් එහෙම ක්‍රමයක් නෑ. ඒ නිසා තමයි මම රාජ්‍ය සේවකයින් ස්ලොත්ලා වගේ කියලා කිව්වේ. රජයේ සේවකයින්ගේ ඵලදායිතාවය ගැන කතා කරන්න ගියොත් අපිට දවසක්ම ඒ ගැන කතා කරන්න පුලුවන්.
අපේ රටේ ව්‍යවසායකයෝ හදන්න ආයතන 46ක් තිබුණා. ඒකට බිලියන 52ක් වියදම් කරලා තියෙනවා. ඒත් හදපු එක ව්‍යවසායකයෙක්වත් නෑ. බිලියනය ගානේ එක් ව්‍යවසායකයෙක්ට දුන්නා නම් අද ව්‍යවසායකයෝ කී දෙනෙක් බිහි කරන්න තිබුණාද?
ව්‍යවසායකයින් හදන්න ඉදිරිපත්වුන ආයතනවල ඵලදායිතාවය ඒකෙන් පේනවානේ. ඒ නිසා තමයි අය වැය හරහා ජාතික ඵලදායිතා කොමිසමක් පිහිටුවීමට අපි යෝජනා කර තිබෙන්නේ. ඵලදායිතාවය කියලා කිව්වම ආයතනයක විතරක් ඵලදායිතාවය හොයලා සම්මානයක් දීලා වැඩක් නෑ. ලේබර් ප්‍රඩක්ටිවිටි එක වගේම ජාතික ආර්ථිකයේ ඵලදායිතාවයත් අපි සොයලා බලන්න ඕන.
දැන් අපේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා. ණය ගෙවාගන්න විදියක් නෑ. ලෝකටෙම ණය වෙලා එක එක ව්‍යාපෘති කරලා, ඒත් ඒවායින් එක ඩොලරයවක් උපයන්න බෑ. මේ ව්‍යාපෘතිවල තියෙන ආර්ථික ඵලදායිතාවය මොකක්ද. මෙහෙම හිතෙන හිතෙන ව්‍යාපෘති කරන ක්‍රමය අපි වෙනස් කරනවා. ඒ සිස්ටම් එක අපි චේන්ජ් කරනවා. මේ කොමිසම පිහිටුවූවාට පස්සේ ආයෝජනයක් කරන්නේ, ඒ අයෝජනයේ ආර්ථික ඵලදායිතාවය ගැන හිතලා. 2048 දී අපේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීම සදහා මේ වගේ තීන්දු ගන්න වෙනවා.
අපේ රටේ ශ්‍රමිකයා, ශ්‍රමය වාසනාවක් බවට පත් කරන්න අනාගත ශ්‍රමය වෙනුවෙන් වැඩ කරන ආයතනයක් බවට ශ්‍රම වාසනා අරමුදල පත් කරලා තියෙනවා. ශ්‍රමිකයාගේ දරුවාගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රම වාසනා අරමුදල යොදවනවා. ඒ වගේම ශ්‍රමිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරන්න අලුත් ලොතරැයියක් හදුන්වාදෙන්නත් අපි කටයුතු කරනවා.
මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව තියෙන්නේ මානව සම්පත නිවරදි තැනට ගෙන යන්න කටයුතු කරන්නයි. ලෝකයේ සහ ලංකාවේ ලේබර්මාර්කට් එක බලලා කැරියර් ගයිඩන්ස් කරන ආයතනය තමයි මේ. ඒත් මේ දේ මෙතරම් කල් මේ රටේ හරියට වුනේ නෑ. මේ අය තමයි විශය මාලා හදන්න අධ්‍යාපන අමාත්‍යාංශයට ඉන්පුට් දෙන්න ඕන. මේ අය ශ්‍රම වෙළදපොල හා වෘත්තීය අධ්‍යාපනය අතර තියෙන ගැප් එක ෆිල් කරන්න ඕන. අයි.එල්.ඕ. ආයතනය සමග එකතුවෙලා, මෙතරම් කල් ලංකාවේ නොකළ ලේබර් ස්ටඩි එක කරනවා. ලෝකල් ජොබ් මාර්කට් එක හා ග්ලෝබල් ජොබ් මාර්කට් එක බලනවා. ගම්වල තරුණයින් යොමු කිරීම හා එතැනට ගෙන යාම සදහා වන විශය මාලා හැදීම දක්වා වන ඉන්පුට්ස් හැදීමට අපි කරගෙන යනවා.
අපි හැමෝම අනාගතය වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. අනාගතය ගැන කතා කළාට වර්තමානය වෙනුවෙන් වැඩ කරලා නෑ. අපි වැඩ කරන්න ඕන, වැඩ කරන්නේ වර්තමානය වෙනුවෙන්. අපි ලෝකයේ ජොබ් මාර්කට් එකට ගැලපෙන විදියට ශ්‍රම බලකාය හදලා නෑ. ඒකක විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක වැඩ කරන විට පේනවා.
තාක්ෂණයක් එක්ක වැඩ කරන ආකාරය, වැඩ කරන ස්ථානය වෙනස් වෙනවා. නවීන වැඩ කරන ස්ථානය වෙනුවෙන් ස්මාර්ට් මිනිස්සු අපි හදන්න ඕන. ඒක තනි තනිව මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක මේ වෙන විට වෙලා නෑ. ඒ නිසා තමයි ලබන අවුරුද්ද වන විට මේ සියල්ල ඩිජිටල් කරමින් සියල්ල චේන්ජ් කරන්නේ.
මම හිතන්නේ මම තමයි දැනට ඩිජිටල් විදියට මේ වන විට මේ ඉන්න පිරිසත් එක්ක ගනුදෙනු කරන විදේශ රැකියා ඇමැති. මම ඒක පොඩි ආඩම්බරයකින් කියන්නේ කතානායකතුමනි. මම කෙලින්ම කතා කරන්න වට්ස් ඇප් අංකයක් හදුන්වා දුන්නා. ඊමේල් එකක් හදුන්වා දුන්නා. මම ඒ පණිවුඩ සියල්ලම කියනවා. හරියට පණිවුඩයක් වත් ලියලා එවන්නේ නෑ. කොරියාවේ රස්සාවක් ඉල්ලා කරන ඉල්ලීම හරියට කියන්න බෑ. පොදු ප්‍රශ්නයත් පුද්ගලික ප්‍රශ්නයත් වෙන් කරලා තේරුම් ගන්න බෑ.
මෙහෙම ඉන්න අය නිසි ක්‍රමවේදයකට අරගෙන නිසි පුහුණුවක් දීලා විදේශ රැකියා සදහා යොමු කරන්න ඕන. මේ අය තමයි විසිට් වීසා අරගෙන රස්සාවලට රට යන්නේ. මේ අය තමයි බෝට්ටුවල ඉතාලියට යන්නේ. මේ අය තමයි වංචාකරුවන්ට රැවටෙන්නේ. මේ අයගෙන් මම ඉල්ලා සිටින්නේ රැවටෙන්න එපා.
ඊයේ රාත්‍රිය වන විට අපි මේ වසරට විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් 288,561 දෙනෙක් පිටත් කර යවා තිබෙනවා. අපි පුහුණුවලත් ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීම සදහා සෑම පියවරක්ම ගන්නවා. ඒ නිසා තමයි විදේශ රැකියාවක් සදහා පිටත්ව යන අයෙක්ට පුහුණුව සදහා වැය කරන මුදල, එම පුද්ගලයා විදේශ ගත වන අවස්ථාවේදී නැවත ලබාදීමට අපි තීරණය කර තිබෙන්නේ.
මේ දවස්වල හැම තැනම විසිට් වීසා ප්‍රශ්නය ගැන කතා කරනවා. හියුමන් ට්‍රැෆිකිං හැමදාම වෙනවා. ඒක විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල එකක් නෙමෙයි. අපි සේෆ් මයිග්‍රේෂණ් වෙනුවෙන් වැඩ කරනවා. වැරදිවිදියට රට යන අය ඉන්නවා. බෝට්ටුවෙන් ඉතාලියට යනවා. ජෝර්දානයට ගිහින් යුරෝපයට යනවා. මැලේසියාවට, එක එක ඇමැතිවරු පවා රටවලට ගිහින් බස්සනවා. මේවා වෙනවා. එදත් වුනා. අදත් වෙනවා. එහෙම කියලා සංචාරක වීසා නතර කරන්න මට අයිතියක් නෑ.
ඒ නිසා තමයි රට රස්සා දෙනවා කියලා බොරු කරන හොරුන්ට අහුවෙන්න එපා කියලා අපි කියන්නේ. අහුවෙන්න එපා
අපි මේ අමාත්‍යාංශය භාරගත්ත වෙලාවේ රට තිබුණ තැන අපිට අමතක නෑ. විදේශ ගත ශ්‍රමික ඔබ මුදල් එවපු නිසා තමයි රටේ තිබුණ පෝලිම් ටික නැති කරන්න පුුලුවන් වුනේ. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නැති කළේ. ඔබේ අම්මට තාත්තට, දරුවට ඕන බෙහෙත් ටික ඉස්පිරිතාලෙට ගන්න පුලුවන් වුනේ ඔබ මේ සල්ලි ටික හරි විදියට, නීත්‍යානුකූල ක්‍රමයට බැංකු හරහා මේ රටට එවපු නිසා.
ඒ නිසා තමයි විදේශ ගත ශ්‍රමිකයා එවන මුදලට අනුව ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදෙන්නේ. හැමෝම රට රටවලට ගිහින් කිව්වේ ලංකාවට සල්ලි එවන්න එපා කියලයි. ඒත් අපි මේ දේවල් කරපු නිසා මේ දේවල් කරන්න පුලුවන් වුනා. ප්‍රතිශතයක් විදියට අපි ආදායම වැඩි කළා. ප්‍රතිශතයක් විදියට මේ ආකාරයට ලැබුණා. ඒ අයට වාහන ආනයන බලපත්‍රයක් දෙන්න ඕන නැද්ද?
අවුරදු ගානක් තිස්සේ විදේශ ගත ශ්‍රමිකයා ඉල්ලා සිටි විශ්‍රාම වැටුප අපි හදුන්වලා දුන්නා. මනුසවි විශ්‍රාම වැටුප දැන් ක්‍රියාත්මකයි. ගුවන්තොටුපොලේදී විදේශ ගතවන, විදේශ රටවල සිට මෙරටට එන ශ්‍රමිකයාට අවශ්‍ය ගෞරවය ලබාදීම සදහා හෝප් ගේට් එක විවෘත කළා. ඒක ක්‍රියාත්මක වෙනවා.
ඒ විතරක් නෙමෙයි දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව මුදල වැඩි කළා. නිවාස ණය ලබාදෙනවා.
ඒ අතරම විදේශ රැකියා ලබාදෙන බව කියලා වංචා කරන හොරුන්ට අහු නොවෙන්න, අපි දැඩි තීන්දු අරගෙන තියෙනවා. ගෘහස්ත සේවය සදහා පුහුණුව දැඩි කරලා තියෙනවා. විසිට් වීසා වලින් රැකියාවලට යැවීම සම්පූර්ණයෙන්ම නතර කළා. ඒ විතරක් නෙමෙයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන තමන්ට ලැබෙන ආදායම් බැංකු හරහා මේ රටට ගේන්නේ නැතිනම් ඔවුන්ගේ බලපත්‍ර අලුත් කරන්නේ නෑ. අලුත් බලපත්‍රයක් ලබාදෙන විට අවශ්‍ය තැන්පත් මුදල මිලියන 3ක් දක්වා වැඩි කරනවා. එහෙම කරන්නේ බලපත්‍රයක් ලබාගත යුතු නිවරදිම කෙනාට එය ලබාදෙන්න.
විදේශ ගත ශ්‍රමිකයින් හරහා බ්‍රේන් ඩ්‍රේන් එකක් වෙයි කියලා බොහෝ අය සැක කරනවා. අපිට සහතිකයි මේ හරහා බ්‍රේන් ගේන් එකක් අපිට කරගන්න පුලුවන් කියලා. කොරියාව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. එතකොට මේක තේරුම්ගන්න පුලුවන්
අපි උණ්ඩියල් නැවැත්තුවා. ඒ මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ගන්න ඕන. තෙල් ටික ගේන්න ඕන. ඒ නිසා තමයි උණ්ඩියල් නතර කළේ. එහෙම කළාම අලුත් සෙල්ලමක් පටන් ගත්තා. උණ්ඩියල් නතර කළාම රත්තරං විදියට අරගෙන එනවා. දැන් උන්ඩියල් අය අපේ කොරියාවේ ඉන්න තරුණියින්ට අරගෙන එන රත්තරං මාලයක් දාගෙන එන එක නතර කරන්න හදනවා කියනවා. මම මේක අයින් කරලා දාන්නම්. විගමණික ශ්‍රමිකයින්ට මේක අදාල කරගන්නේ නැතිව ඉන්නම්
රට අමාරුවෙන් ඉස්සරහට අරගෙන යන වෙලාවේ, අපි අමාරුවෙන්, බය නැතිව ගන්න තීරණවලට වල කපන අයට අහුවෙන්න එපා කියලා මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ ශ්‍රමිකයෝ අපිට ඩොලර් එව්වා. ඒ අය එවපු නිසා රට තිබුණු තැන දැන් මතක නෑ. මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. පෝලිම්වල හිටියා. අමාරුවෙන් හිටියා. මේ හැම එකකට ම වඩා අද මිනිස්සු ටිකක් සතුටින් ඉන්නේ ඩොලර් එවපු නිසා. ඩොලර් එවලා ඒ හයිය දීපු නිසා. ඒ අයට අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවෙදි.
එ් වගේ ම එක එක වෙලාවෙදි එක එක වංචනිකයන්ට අහුවෙන්න එපා. ඩොලර් එවන්න එපා කියලා පිටරට ගිහින් කියන අයගේ වංචාවලට අහු වෙන්න එපා. රට කඩා කප්පල් කරන, මේ රට ගොඩ නගන ගමන, වළක්වන්න හදන දේශපාලන මතිතාන්තර වලට අහුවෙන්න එපා කියලා. ඒ වගේ ම විදේශ ශ්‍රමිකයා විදියට රට ගිහිල්ලා වෙන වෙන වංචාවලට අහුවෙන්න එපා. කම්කරුවා රකින්න, ව්‍යවසායකයාත් ආරක්ෂා කරගෙන, මේ කම්කරු නීති වෙනස් කරන්න යන ගමනෙ දි එක එක අයගේ දේශපාලන වුවමනාවල්වලට අරං එන රැළිවලටත් අහුවෙන්න එපා.