එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සංවත්සරික විශේෂ සැමරුම් වැඩසටහනක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ළමා අයිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කිරීම තහවුරු කිරීම උදෙසා “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය”, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF ආයතනය) සමග එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.
1989 නොවැම්බර් 20 වැනි දින ප්‍රකාශයට පත්වූ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට මේ වන විට වසර 33ක් සපිරේ. ශ්‍රි ලංකාව එම සම්මුතියට 1991 වසරේදී අත්සන් තබා ඇති අතර මෙම සම්මුතියේ 25 වැනි සංවත්සරය යෙදුණු 2014 වසරේදී “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය” පිහිටුවා ඇත.
ළමා අපයෝජන ඇතුළු සිද්ධීන් දිනෙන් දින වැඩිවන බව වාර්තා වන බැවින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නෛතික වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙහිදී පවසා සිටියේ සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය, ඇතුළු අදාළ ක්ෂේත්‍රවල ළමයින්ට බලපාන ගැටලු , අඩුපාඩු විසදා දීමට සිය සංසදය ඉදිරියේදී මැදිහත් වන බවයි.
මෙහිදී ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ කාර්ය භාර්ය ඇගයීමට ලක් කළ ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නිත්‍ය නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අදහස් දක්වමින් කියා සිටියේ දරුවන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් දියත් කරන වැඩසටහන් සදහා ඉදිරියේදීත් සහයෝගය ලබා දෙන බවයි.
අධ්‍යාපන අමාත්‍ය , සභානායක ගරු සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙම සංසදයේ ආරම්භක සභාපතිනිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූහ.
මැති ඇමතිවරු මෙන්ම විශ්විද්‍යාල තරුණ පිරිසක්ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් හා ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.