තැපැල් දෙපාර්තමේන්තුව සංඛේත වැඩවර්ජනයකට එළැඹීම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(12) පැවති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ ආදායම රුපියල් බිලියන 7.1ක් වුවද වැටුප් හා අතිකාල දීමනා සඳහා රුපියල් බිලියන 12.8ක් වැය කිරීමට රජයට සිදුව ඇති බවත්, අනෙකුත් අමතර වියදම් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම රුපියල් බිලියන 15ක් ඉක්මවන හෙයින් සමස්ත දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 08ක් පමණ වන බවත්, එවැනි තත්වයක් යටතේ අතිකාල දීමනා වැඩිකිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ අමතරව පාඩු ලබන රුපියල් බිලියන 08ක් පමණ මුදල ගෙවනු ලබන්නේ මහ ජනතාවගේ බදුමුදලින් බවත්, ඊට අමතරව තවත් මුදල් තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් සඳහා වෙන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, අනුෂ පැල්පිට මහතා පැවසීය.
තම මතය වූයේ, තැපැල් ගාස්තුව රුපියල් සියයක් දක්වා වැඩිකිරීමට බවත්, තවදුරටත් මහජන බදු මුදලින් පාඩු ලබමින් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීමට ඉඩ හැරිම සිදු නොකළ යුත්තක් බවත්, අනුෂ පැල්පිට මහතා වැඩිදුරටත් පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තු වෘත්තිය සමිති වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බවත්, මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව සමඟ පෞද්ගලිකව ව්‍යාපාර හා අනෙකුත් ගණුදෙනු කිරීම් සිදුකරන පෞද්ගලික අංශයේ ආයතන තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය බිඳවැටීමට හේතුවනු ඇති බවත්, එමනිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම තවත් අඩුවීමට මෙය හේතුවනු ඇති බවත්, ලේකම්වරයා පැවසීය.
සාධාරණයක් ඉටුකිරීමට පාලනතන්ත්‍රය සූදානම්- තැපැල්පති
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් ඉල්ලන ප්‍රමාණයෙන් ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති වුවද කරුණු සළකා බලා ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට පාලන තන්ත්රය සූදානම් බවත්, සියල්ලට පෙර වැඩවර්ජනය නවත්වන ලෙසත් පැවසීය.
මෙලෙස හදිසි වැඩවර්ජන කිරීම තුළින් මහජනතාව දැඩි අපහසුතාවකට පත්වන බවත්, ලබාදිය නොහැකි ඉල්ලීම් ඉල්ලා රජය අපහසුතාවට පත් නොකරන ලෙසත් තැපැල්පතිවරයා වර්ජනයේ නිරත සේවකයන්ගෙන් ඉල්ලීම් කළේය.
මෙම වර්ජනය හේතුවෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සඳහා පාඩු සිදුවන බවත්, රාජකාරි ලිපි ලබාදීම ප්‍රමාදවීමට හේතුවන බවත්,ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද යන්නත්, එම අවස්ථාවේදී මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූ තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් මාධ්‍ය විමසීය.
මෙම තත්වය මධ්‍ය සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායමට බලපෑ හැකි තත්වයක් බවත්, භාණ්ඩ බෙදාහැරීමෙන් පසු මුදල් ලබාගැනීමට භාණ්ඩ ලබාදෙන ව්‍යාපාරිකයන් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවත් සමඟ ගණුදෙනු කරන බවත්, ඔවුන්ට දැඩිලෙස බලපෑ හැකි බවත්, එම තත්වය තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම අඩුවීමට ද බලපෑ හැකි බවත්, තැපැල්පතිවරයා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම අඩුවීම සමස්ත ආර්ථිකයටම බලපාන බවත්, සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි කරුණු සම්බන්ධයෙන් වැඩවර්ජන සිදු නොකරන ලෙස තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බවත්, තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
පවතින තත්වයත් සමඟ මහජනතාවට උත්තරයක් ලබාදීමට නොහැකි තත්වයකට තමන් පත්ව ඇති බවත්, සමස්ත තැපැල් කාර්ය මණ්ඩලය රාජකාරි නොකළහොත් එම කාර්යභාරය තනි පුද්ගලයන්ට කළ නොහැකි බවත්, වර්ජන නවත්වන ලෙස දිගින් දිගටම ඔවුන්ගෙන් ඉල්ලීම් කළේ මේ හේතුවෙන් බවත්, තැපැල්පතිවරයා පැවසීය.