ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා -වෙළඳ  අමාත්‍ය

    දෙසැම්බර් 14, 2022

     ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලාභදායීව පවත්වාගෙන යාමට හැකිවී තිබෙනවා

     සාධාරණ වෙළෙඳපොළ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණින් 2003 අංක 9 දරණ පාරිභෝගික පනත සංශෝධනය කිරීමට පියවර

    අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසිය.

     

    ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පසුගිය මාර්තු අප්‍රේල් මාස වල විවෘත වෙළෙඳ පොළේ මිල සංසන්දනය කරන විට නොවැම්බර් මස වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව ලැබී තිබෙන බවයි. ඒ අනුව විවෘත වෙළඳපොලේ ජූලි මාසයේ පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 595 ක් වූ අතර දෙසැම්බර් මාසයේදී පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් ලංකා සතොස ආයතනයේ රුපියල් 389 ක් දක්වා අඩු වී තිබෙන බවත් විවෘත වෙළෙඳ පොළේ රුපියල් 410ක්වූ පාන් පිටි කිලෝ ග්‍රෑම් 1 දෙසැම්බර් මාසයේදී ලංකා සතොස ආයතනයෙන් මිල රුපියල් 265 දක්වා අඩු කිරීමටත් හැකිවූ බවද අමාත්‍යවරයා පැවසීය.


    එමෙන්ම, රුපියල් 280 ට පැවති සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 229 දක්වා අඩු කිරිමටත්, රුපියල් 225කට මුලවූ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 198 දක්වා අඩු කිරීමටද සතොස ආයතනයට හැකිවූ බව අමාත්‍යවරයා පැවසීය. එළඹෙන උත්සව සමය තුළ පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් වෙළෙඳපොළ නිරීක්ෂණය හා පරීක්ෂා කිරීම් කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

    එයට අමතරව සාධාරණ වෙළෙඳපොළ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව 2003 අංක 9 දරණ පාරිභෝගික පනත සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව අවධාරණය කළේය. එහිදී පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පූර්ණකාලීන සාමාජිකයන්ගේ සුදුසුකම් උක්ත පනතට ඇතුළත් කිරීමට සහ නිෂ්පාදකයන් හා වෙළඳුන්ට එරෙහිව ලැබෙන පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රමවේදය වඩා ක්‍රමවත් හා ශක්තිමත් අයුරින් පනතට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. නව වගන්ති ඇතුළත් සංශෝධිත කෙටුම්පත මීළඟ උපදේශක කාරක සභා රැස්වීමට යොමු කිරීමට අදහස් කරන බවද ප්‍රනාන්දු මහතා පැවසීය.

    මෙරට තරුණ තරුණියන් සමුපකාර ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය. තරුණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට සමුපකාර ක්ෂේත්‍රය ඔස්සේ සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් සමූපකාර සමිති සවිබල ගැන්වීම තුළින් සිල්ලර හා තොග අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමත්ස මූපකාර ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙන බවද මෙහිදී කාරක සභා සභාපතිවරයා පැවසීය.

    වර්තමානය වන විට ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලාභදායීව පවත්වාගෙන යාමට හැකිවී ඇති බවත් රටට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කර බෙදාහැරීමේ තනි අයිතිය එස් ටී සී ආයතනය වෙත පැවරී තිබූ නමුත් ඉන්දියාව විසින් ඇමෝනියම් නයිට්‍රේට් අපනයනය තහනම් කිරීම සමඟ රට තුළ පුපුරණ ද්‍රව්‍ය කර්මාන්තය පසුබෑමකට ලක්විය. නමුත් නැවතත් ඇමෝනියම් නයිට්‍රේට් එස්.ටී.සී ආයතනය හරහා ආනයනය කර බෙදා හැරීමට කටයුතු කර තිබෙන බවද ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    එසේම රට තුළ ආහාර ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ආදායම් ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා කාන්තා ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම මාසය තුළ ආරම්භ කිරීමට නියමිත බවද මෙහිදී අවධාරණය කෙරිණි. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අදාල ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් අදාල හඳුනාගැනීම සිදු කළ පසු කාන්තා ව්‍යවසායකයන් වෙත සිය ගෘහ ආදායම වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

    මහපොළ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත දියත් කිරීම පිළිබඳ මෙහිදී අදහස් පළ වූ අතර 2023 වර්ෂයේ මාර්තු මාසය වන විට මහපොළ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya