ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතනවල ගැටලු සහ ඊට අදාළ විසදුම් සහ යෝජනා සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් අද (15) පැවති ආර්ථිකය
ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී මෙම කරුණු අනාවරණය විය.
රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් යන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන මෙන්ම වෙබ් මාධ්‍ය, සහ සමාජ මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීහු මෙම අවස්ථාවට කැදවා තිබිණි.
ආර්ථික අර්බුදය හමුවේ සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළයාමෙන් වෙළද දැන්වීම් සදහා වෙන් කරන මුදල් ප්‍රමාණය දළ වශයෙන් 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බව මෙහිදී අනාවරණය විය.
රාත්‍රී ප්‍රමුඛ කාලය තුළ (Prime time) සිදුවන විදුලි කප්පාදුව නිසා රූපවාහිනි ආයතනවලට වෙළද දැන්වීම් ලැබෙන ප්‍රමාණය පහතවැටී ඇති බවද වත්මන් ආර්ථිකය තුළ වැඩසටහන් නිෂ්පාදනය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවටද මෙහිදී කරුණු අනාවරණය විය.
කඩදාසි හිඟය ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පුවත්පත් ඇතුළු ප්‍රකාශන කර්මාන්තවල විශාල පසුබෑමක් සිදුව ඇති බව පුවත්පත් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීහූ කරුණු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය නිසා පුවත්පත්වල පිටු සීමා කිරීමටත් මිල ඉහළ දැමීමටත් සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ. පුවත්පත් පිටු අඩුවීමෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ පුවත් සදහා ඉඩක් නොලැබෙන තත්ත්වයක් ඇතිවී ඇති බවත් ඔවුන්ට ගෙවීම් පවා සිදුකළ නොහැකිවී ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එසේම ඇතැම් පුවත්පත් ආයතනවල ස්ථිර කාර්ය මණ්ඩලයට වැටුප් පවා ගෙවීමට අපහසු තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙම තත්ත්වය තුළ පුවත්පත් මුද්‍රණය 60% - 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මේ අනුව ආර්ථික ගැටලු, ප්‍රාදේශීය පුවත් පළ නොවීම ආදී හේතු නිසා ජනතාව අතර පුවත්පත් සංසරණය මේවන විට විශාල ලෙස අඩුවී ඇති බවත් පුවත්පත් මාධ්‍යවේදීහු පෙන්වා දුන්හ.
ආර්ථික අර්බුදයට අමතරව සමාජ මාධ්‍ය ඇතුළු වත්මන් ඩිජිටල් මාධ්‍ය ප්‍රවණතාවන් හේතුවෙන්ද පුවත්පතට සහ ගුවන්විදුලියට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බවද මෙහිදී අනාවරණය විය.
වත්මන් අර්බුදකාරි තත්ත්වයට මුහුණ දීම සදහා ජනතාව සූදානම් කිරීමට සියලු ජනමාධ්‍ය ආයතන ඒකාබද්ධව එක ඉලක්කයකට යාමට රජය ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු බවටද මෙහිදී මත පළ විය. සුනාමි ව්‍යසනය, ත්‍රස්තවාදය පරාජය කිරීම, කෝවිඩ් අර්බුදය ජය ගැනීම වැනි අවස්ථා සදහා මාධ්‍ය ක්‍රියාකළ අයුරින් මේ මොහොතේද කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී අවධානය යොමුවිය.
මෙම සියලු අදහස් යෝජනාවලට අවධානය යොමු කරමින් අනුකාරක සභාපතිවරයා පැවසුවේ මෙම කරුණු ඇසුරින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා ඉදිරි වාර්තාවට ඇතුළත් කොට ජාතික සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.