ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රැකියා ඇමති ඕමානයට සිය කණගාටුව පළ කරයි

    දෙසැම්බර් 16, 2022

    ඕමාන රාජ්‍යය, ඕමාන තානාපති කාර්යාලය සහ මැදපෙරදිග කලාපේ අනෙකුත් රටවල් අපහසුතාවට පත්වන ආකාරයේ පුවත් පළවීම සම්බන්ධයෙන් රටත්, ආණ්ඩුවත්, ජනතාවත්, මාධ්‍යත් වෙනුවෙන් සිය කණගාටුව පළ කරන බවත්, ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන ද්වීපාර්ශ්වීය සබදතාවන් මෙම රටවල් සමග තිබෙන බැවින් සුළු සිදුවීම් නිසා එම සබදතාවන් බිද වැටීමට ඉඩදිය නොහැකි බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඕමානයේ සිදුවුව යැයි පවසන සිදුවීම් වලට අදාළව මෙරට මාධ්‍ය මඟින් පළ වූ පුවත් නිසා ඕමාන් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවලට සිදු ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් සිය කණගාටුව පල කිරීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

    අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය;

    විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යංශයේ කාර්යභාරය වෙනුවෙන් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකිකයින් පිටත් කර යැවීම, විෂය භාර අමාත්‍යවරයා ලෙස පුහුණු ශ්‍රමිකයින් ඇතුළු ශ්‍රමිකයින් විදෙස් රටවලට යැවීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. යොමු කරලත් තියෙනවා, මේ වසර අවසාන වන විට මේ වසර අවසානයේ දී එය ලක්ෂ තුන ඉක්මවනවා.

    කාර්යංශයේ දැනුවත්භාවයකින් තොරව, ලංකා රජයට බොරු කියලා, සමීපතමයෙක් මුණගැසීමට හෝ ඒ ආසන්න වෙනත් ව්‍යාජ තොරතුරු ගුවන්තොටුපළට ලබා දීලා පිටව යන කණ්ඩායමක් ඉන්නවා. බෝට්ටුවලින් ඉතාලියට, ඔස්ට්‍රේලියාවට පැනලා යන තවත් පිරිසක් ඉන්නවා. ඒ වගේ ම වෙනත් රටකට ගොස් ඒ රටේ සිට විවිධ නීති විරෝධී ක්‍රමවේදයන්ට තවත් රටවලට යන පිරිසකුත් ඉන්නවා. මේ සියල්ල අයත් වෙන්නේ මිනිස් වෙළෙදාමට. නීති විරෝධිව ගිය මේ පිරිස් විවිධ රටවල අනාථ වෙනවා. නිසි රැකවරණයක් නොලබන පිරිසක් බවට පත් වෙනවා. එයින් සියයට 99.9ක් ම තමන් කරන්නේ වැරැද්දක් කියලා දැනගෙන ගිය අයයි.

    එහෙම ගිහින් සමහරුරැකියා හොයා ගන්නවා. සමහරුන්ට බැරි වෙනවා. රැකියා කරන අයට ඒ තැන්වල ප්‍රශ්න මතු වෙනවා. සමහරු අරං යන අයම අතරමං කරනවා. ඊට පස්සේ ඔවුන් එන්නේ තානාපති කාර්යාලවලට. එතන දී තානාපති කාර්යාලවල ඉන්න අමාත්‍යංශයේ කම්කරු අංශ නිලධාරීන්ට භාර ගන්න පුළුවන් වෙන්නේ කාර්යංශයේ ලියාපදිංචි වෙලා නීත්‍යනුකූල ව ඇවිත් ඉන්න අය විතරයි. හැබැයි මේ හව්හරණ නැති බොහෝ ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාල වෙත එනවා.

    තානපති කාර්යාලවලත් සුරක්ෂා නිවාස තියෙන්නේ මැදපෙරදිග කලාපයේ විතරයි. අනෙක් අය ඒ ඒ රටවල හිරගෙවල්වල. නැත්නම් පිටුවහල් කරනවා. මැදපෙරදිග කලාපයේ නම් සුරක්ෂා නිවාස වෙත එනවා. සුරක්ෂා නිවාසවලට එන්න බැරි අය බෝඩ් උස්සගෙන කෑ ගහනවා අපි අසරණයි අපිව ගන්න කියලා. හැබැයි ඇවිත් තියෙන්නේ බොරු කියලා. සුරක්ෂා නිවාසවලින් ගන්න බැරි වෙද්දී ඒ රටේ කම්කරු අමාත්‍යංශ සහ වෙනත් ආයතන ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කරනවා. පාරවල්වල කදවුරු හදාගෙන අතිශය දුක්ඛිත ජීවිතයක් ගත කරනවා” යනුවෙන් පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය;

    “ඔවුන් මේ තත්ත්වයට පත් වුණේ නිශ්චිත නෛතික ක්‍රියාමාර්ගවලින් බැහැර ව, තමන්ගේ ව වරදින්, බොරු කියලා, වංචාකාරී විදියට, ජාවාරම්කරුවන් පසුපස ගියපු නිසා මිස ඒ රටේ වරදකින් හෝ මේ රටේ වරදකින් නෙවෙයි. මේ කටයුතුවලට කාර්යංශයේ බලපත් හිමි නියෝජිතායතනවල සම්බන්ධයක් නෑ. ඒ ව්‍යාපාරයේ නියුතු වෙනම කණ්ඩායමක් විසින් කරන දෙයක්. නීතියට හොරෙන් එහෙම ගිහින් අනාථ වුණා ම තමන්ට නොසලකන බවට වීඩියෝ මගින් බෙදාහරිනවා. එහෙම වුණත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් නිසා රජය විදියට අපට වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ඒ වගේ පිරිස් නැවත ලංකාවට ගෙන්වා ගන්න කටයුතු සකස් කරලා තියෙන්නේ.

    මේ විදියට සුරක්ෂා නිවාසවල ඉන්නේ දෙසීයකට අඩු පිරිසක්. ඉතිහාසයේ සමහර කාලවල සුරක්ෂා නිවාස වල බොහෝපිරිස් සිටි කාල තිබුණා. මේ පිරිස ඉතා කඩිනමින් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. නීත්‍යනුකූලව ගිහින් කරදරයට පත් වුණු සියලු දෙනා ම තානාපති කාර්යාල හරහා නැවත ලංකාවට ගෙන්වා ගන්නවා. ඔවුන්ට අවශ්‍ය නම් නැවත වරක් රැකියාවක් සදහා වුවත් විදෙස් ගත වෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්න අපට වගකීමක් තියෙනවා.

    එහෙත් නීත්‍යනුකූල නොවන ලෙස විදෙස්ගත වෙලා කරදරයට පත් වුණු අය තානාපති කාර්යාලවල ඉන්නවා නම්, අපි යොමු කළ පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදු කරන පරීක්ෂණවලින් අනතුරු ව ඉතා කඩිනමින් ගෙන්වා ගන්නවා. ඒ සදහා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මට බලතල නැතත්, කැබිනට් මණ්ඩලයට ගිහින් විශේෂ අනුමැතියක් අරගෙන තියෙනවා. නීත්‍යනුකූලව රටින් පිටවූ ශ්‍රමිකයා විදෙස්ගත වීමේ දී ගෙවූ මුදලින් තමයි ඒ නීති විරෝධීව ගිහින් අසරණ වුණු අය ගෙන්වා ගන්න වෙන්නෙත්. මේ පිරිස ලංකාවට ගෙන්වූ වහා ම ඔවුන්ට විරුද්ධ ව මිනිස් වෙළදාමට සම්බන්ධ වීමට අදාළ ව නීතිය ක්‍රියාත්මක කරනවා.

    මේ පිරිස ලංකාවට පැමිණි පසු විවිධ මාධ්‍යයන් හරහා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපේ මාධ්‍ය ආයතනත් ඒවායේ සත්‍යාසත්‍යතාවකින් වගකීමකින් හෝ වගවීමකින් තොරව ඒවා පළ කළා. මේ සිදුවීම් පිළිබද පරීක්ෂණ කළ යුතුයි. මේ වෙද්දී දෙවැනි පරීක්ෂණ කණ්ඩායමත් ඕමානය වෙත යොමු කර අවසන්. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් වන සියලු දේත් සොයා බලනවා.

    ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූවා යැයි කියන සිදුවීමට අදාළ සියලු පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. එහෙත් සමහර කාන්තාවන් කරන ඕමානය ගැනත්, ඕමාන රජය සහ එහි ජනතාව ගැනත් ඉතාමත් ම බරපතල චෝදනා සහ ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඒවායේ සත්‍යාසත්‍යතාවය පිළිබද කිසිදු වගවිභාගයකින් හෝ අවසන් පරීක්ෂණයක ප්‍රතිඵලයකින් තොරව මේවා ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය වුණා. මේ නිසා මැදපෙරදිග රාජ්‍යයන් බොහොමයක් කණස්සල්ලට පත් වෙලා ඉන්නවා.

    ඊට අමතර ව බොහෝ මාධ්‍ය වාර්තා කළේ ඕමාන තානාපති කාර්යාලය කියලා. ඕමාන තානාපති කාර්යාලය තියෙන්නෙ ලංකාවේ. ඕමානයේ තියෙන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියන්නේ නැති ව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ඕමාන තානාපති කාර්යාලය විදියට හැදින්වීම නිසා ඔවුන් බරපතල කණසල්ලට පත් වෙලා තියෙනවා.

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ සහ ප්‍රේෂණ වැඩි ප්‍රමාණයක් එන්නේ මැදපෙරදිග කලාපයෙන් නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඕමාන රජයට මේ ඇතිව තිබෙන කැලල නිසා මැදපෙරදිග අනෙකුත් රටවලුත් දැඩි අවධානය යොමු කරලා තියෙනවා.

    මැද පෙරදිග සියලු රටවල නීති එක හා සමානයි. ඔවුන් පැන යාම සම්බන්ධයෙන් ඒ රාජ්‍යයන්ට කරන්න කිසිම දෙයක් නෑ. මේක ඒ රාජ්‍යයන් කළ වරදක් හෝ ඔවුන්ගේ වගකීමක් නෙවෙයි. එහෙත් ඕමානය නොකළ වරදකට සමස්ත ඕමානය සම්බන්ධයෙන් ම ඉතා නරක පුවත් තමයි පළ වුණේ. ඒ නිසා කැබිනට් මණ්ඩලය සහ රජය වෙනුවෙනුත්, මාධ්‍ය ආයතන වෙනුවෙනුත්, රට වෙනුවෙනුත් මම අපේ ඉතා බලවත් කණගාටුව ඒ වෙනුවෙන් පළ කරනවා. ඒ වගේ ම ඕමාන තානාපති කාර්යාලයට සහ අනෙකුත් රාජ්‍යයන්ට වූ වරදට, හානියට, හිත් තැවුලට මාගේ කණගාටුව සහ සමාව භජනය කරනවා.

    අපට ඕමානය සමග දේශපාලනික, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඕමානයේ අපේ රටේ ශ්‍රමිකයන්, වෘත්තිකයන් 19,000ක් සිටිනවා. ඒත් නීති විරෝධීව ගියපු, ජාවාරම්කරුවන් හා සම්බන්ධ කිහිපදෙනකුගේ ප්‍රකාශ නිසා නීත්‍යනුකූල විගමනික ශ්‍රමික ප්‍රජාවට බරපතල අවමානයක් සිදු වෙනවා. ඒ වගේ ම කාන්තාවන්ට විදේශ ගතවීම සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති වේවි. අපි කොහොමත් කාන්තාවන් ගෘහ සේවයට යොමුකිරීම දැනටමත් සීමා කරලා තියෙන්නේ. සමස්ත විදෙස් රැකියාවන්ගෙන් 28%කට පමණයි කාන්තාවන් යොමු වෙන්නේ. එය තවදුරටත් අඩු කර වෘත්තිකයන් වැඩි කිරීමට කටයුතු කරද්දී මේ වැනි සිදුවීම් ඉස්මතු වීම රටේ ඉදිරි විදේශ රැකියා වෙළෙදපොළට බරපතල තර්ජනයක්. මේ හේතුව නිසා ඉදිරියේ දී මේ රටවල් ශ්‍රී ලාංකිකයන් රැකියාවන්ට බදවා ගැනීමේ දී යම් යම් සීමාවන් පනවන්නටත් ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක අපේ වෘත්තිකයන්ටත් රටටත් ලොකු බලපෑමක්” යනුවෙනි.

    ඒ අනුව, රට බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති මොහොතක විදේශ රාජ්‍යයන් සම්බන්ධයෙන් සාක්ෂි, තීන්දු තීරණ, අවසන් නිගමන හෝ අවසන් නෛතික තීන්දු නොලැබෙන තොරතුරු ප්‍රකාශයට පත්කිරීමේ දී මාධ්‍ය වගකීමෙන්, සැළකිල්ලෙන් හා ප්‍රවේසමෙන් යුතුව වැඩකරන ලෙසත්, එසේ නොවුණොත් වෙනත් රාජ්‍යයන් අතර ඇති සබදතාවන් හානි වී රටට බොහෝ දේ අහිමි විය හැකිවන බැවින් එහි වගකීම මාධ්‍ය වෙත පැවරෙන බවත් එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya