නොරොච්චෝලි බලාගාරයේ පද්ධති 03ම ජනවාරි මාස පළමු සතියේදී වසා දමන බවටත් දෙසැම්බර් 31වනදායින් පසුව පැය 10ක, පැය 12ක අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදු කරන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා සිදු කළායැයි කියන ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ,අද (21) බලශක්ති අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
වගකිව යුතු වෘත්තිය සමිති තමන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම කිසි ලෙස අභියෝග නොකරන බව කී අමාත්‍යවරයා , විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන වෘත්තිය සමිතියක් ලෙස හුවා දක්වන ඉංජිනේරු සංගමය අවස්ථා කිහිපයකදීම සිදු කර ඇති ඇතැම් ප්‍රකාශ අසත්‍ය බවත් එවැනි ප්‍රකාශ ඔවුන් දේශපාලන සහ වෘත්තිය යටි අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව පෙනි යන බවද කීය.
දිගින් දිගටම මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම තුළින් ජනතාව කලබලයට පත්වන බවත් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වෛරයක් මෙන්ම අවිශ්වාසයක් ඇති කරවන බවද පැවසු අමාත්‍යවරයා , ඒ සම්බන්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට තමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද සඳහන් කළේය.
මේ වසරේ ගල් අඟුරු බලාගාරයේ පද්ධති 02ක් අක්‍රිය වී තිබෙන අවස්ථාවේදී පැය 02ක් 2 ½ ක් වැනි විදුලි කප්පාදුවක් සහිතව වුවද විදුලි සැපයුම නිසි කළමණාකරනක් සහිතව සිදු කළ බවද අමාත්‍යවරයා කීය.
2023 වසරේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු කිරීම වෙනුවෙන් අවස්ථා 03කදී පද්ධති වසා දැමීමට තීරණය වී ඇති බව කී අමාත්‍යවරයා, එක් පද්ධතියක නඩත්තු කටයුතු කිරීමට 2020 වසරේ තිරණය කළද පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එසේ කිරීමට නොහැකි වු බවත් 2023 වසරේ මැයි මස සිට දින 180ක් වසා දමමින් නඩත්තු කටයුතු කිරීමට යෝජනා වී තිබු බවද කිය.
අද වනවිට මෙගාවොට් 4000කට වැඩි ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියේ ඇති බවත් ජලවිදුලි බලාගාරයේ මෙගාවොට් 1300ක් පමණ ඇති බවත් ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 900ක් ඇති බවත් නැප්තා , ඩීසල් , දැවිතෙල්වලින් කටයුතු කරන බලාගාර ගණනාවක් තිබෙන බවත් පුනර්ජනනීය බලාගාර ලෙස සුළං බලාගාර සහ වහළ මත සවි කර ඇති සූර්ය බල පද්ධති ඇතුළු මේ බලාගාරවලින් අවශ්‍ය විදුලිය උත්පාදනය කර ගත හැකි බවද කීය.
තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
එළැඹෙන වසරේ ලක් විජය බලාගාරය අවස්ථා 03කදී නඩත්තු කටයුතු වෙන්වෙන් වසා දැමීමට යෝජනා කර තිබෙනවා. එවැනි අවස්ථාවලදී එයට ආදේශ කර හැකි විදුලි උත්පාදනය වෙනුවෙන් වෙනත් විකල්ප බලාගාරවලට යාමට සිදුවනවා. එබැවින් කැළණිතිස්ස,සපුගස්කන්ද, වැනි බලාගාර දැවිතෙල් ,ඩීසල් බලාගාර භාවිතා කරනවා. කිසි ලෙසකින් බලාගාර 03ම එකවර අක්‍රිය කිරීමට කිසිලෙසකින් බලාපොරොත්තු වන්නේ නෑ යැයිද අමාත්‍යවරයා පැවසීය.