ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් - කර්මාන්ත ඇමති

    දෙසැම්බර් 22, 2022

    ලංකාවේ ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකාවේ විශාලතම ඛනිජ වැලි නිධිය පිහිටා තිබෙන පුල්මුඩේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමිනි.

    එම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවේදී පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතන පරිශ්‍රය එහි පරික්ෂණාගාරය, කෝකිලායි යන්ත්‍රාගාරය නිරීක්ෂණයට ලක්කළ අතර සමස්ථ කාර්ය මණ්ඩල හමුවක් මාණ්ඩලික නිළධාරින් සමග කාර්ය සාධන සාකච්ඡාවක් සහ වෘත්තීය සමිති සාමාජිකයන් හමුවක්ද සිදුකෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ඛනිජ වැලි සදහා අගයදාම එකතුකිරීම් තුළින් එහි නියම වටිනාකම ඉහළ අපනයන ආදායමක් ලෙසින් අපේ රටට විධිමත්ව අත්කර දෙන බවයි.

    මෙම පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ සියයට හැටපහක (65%ක) ප්‍රතිශතයක් ඉල්මනයිට් ඇති අතර ඊට අමතරව රූටයිල් සහ සර්කෝන් ඛනිජ වැලි වර්ගයන් අන්තර්ගත වෙයි. මෙම නිධිය පිළිබඳව ප්‍රථම වරට 1904 වර්ෂයේදී ආනන්ද කුමාරස්වාමි මහතා අනාවරණය කොට ඇති නමුත්ඉන් ඵල ප්‍රයෝජන ගැනීම ආරම්භ කොට ඇත්තේ 1950 දශකයේය. ඒ අනුව පුල්මුඩේ ඛනිජ වැලි නිධිය කැණීම් කර එහි තිබෙන ඛනිජ සම්පත් පිරිසැකසුම් කිරීම සහ අපනයනය කිරීම අරමුණු කොට ගෙන 1957 අංක 49 දරණ කර්මාන්තශාලා ආඥා පනත යටතේ ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පිහිටුවා තිබෙයි. ඒ යටතේ පුල්මුඩේ වෙරළ තීරය අසල යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් කටයුතු 1958 වසරේ දී ආරම්භ කොට ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය යටතේ 1961 වසරේදී මුල්ම වරට ජපානයට ඉල්මනයිට් ටොන් 2800ක් අපනයනය කොට තිබෙයි. එමෙන්ම පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙහි අඩංගු රූටයිල් සහ සර්කෝන් නම් ඛනිජ වැලි වර්ග දෙක වෙන්කර ගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමු කොට ඒ සඳහා අවශ්‍ය පිරිසිදු ජලය ලබාගැනීමට 70 දශකයේ මුල් භාගයේ දී යාන් ඔය ජල පොම්පාගාරයත් ඉදිකොට තිබෙයි. ඉන්පසු 1992 වර්ෂයේ දී ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය රාජ්‍ය සමාගමක් ලෙසින් සංස්ථාපනය කොට ඇත්තේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය උපරිම ඵලදායී ලෙස භාවිතා කිරීමේ අරමුණෙනි. මේවනවිට එය 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් නමින් පූර්ණ රාජ්‍ය සමාගමක් බවට පත්කොට තිබෙයි.

    50 දශකයේ අග පටන් 90 දශකය ආරම්භ වන තුරු එහි නිෂ්පාදන කටයුතු ඉතාමත් හොඳින් සිදුව ඇති නමුත් 90 දශකයේ මැද භාගය වන විට එල්ටිටීඊ ත්‍රස්තවාදය නිසා, 1998-2005 කාල වකවානුව තුළ එහි නිෂ්පාදනයට බාධා එල්ලවී තිබෙයි. 2005 වසරෙන් පසු එහි නිෂ්පාදන කටයුතු යථා තත්වයට පත්ව තිබෙයි. එහෙත් පුල්මුඩේ ඛනිජ වැලි සම්පතේ අප තවමත් සිදුකරන්නේ නිසි අගයදාම එකතු කිරීමකින් තොරව අපනයනයයි. එම තත්වය කඩිනමින් වෙනස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේවනවිටත් ආරම්භ කොට තිබෙන බව සදහන් කළ කර්මාන්ත අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම තුලින් අපනයනාභිමුඛ කර්මාන්ත ආරම්භ කිරීම, ඛණිජ සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් පරිදි සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම, අගය එකතු කිරීම, තක්සේරු කිරීමට හැකිවන පරිදි නිර්ණායක සකස් කිරීම යන කරුණු ඇතුලත් සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීමේ කටයුතු ඒ වෙනුවෙන් පත්කල කමිටුව විසින් ආරම්භ කොට ඇති බ්වත් ඉදිරි මාස දෙකක කාල සීමාව තුළ එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත වන බවත් වැඩිදුරටත් සදහන් කළේය.

    මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා අවස්ථාවට ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි සභාපති වෛද්‍ය උදේනි දසනායක ඇතුළු එහි කාර්ය මණ්ඩලය සහ අමාත්‍යංශ නිළධාරින් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya