ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රමිතියෙන් තොර ටින් මාළු අළෙවිකිරීමට කිසිදු අවස්ථාවක් නෑ - ධීවර අමාත්‍ය

    දෙසැම්බර් 22, 2022

    ටින් මාළු නිෂ්පාදනයට යොදාගන්නා මත්ස්‍ය විශේෂ මෙරටට ආනයනයේදී පරිභෝජනයට නුසුදුසු තත්වයේ පවතින්නේ නම් නැවත ප්‍රතිඅපනයනය කිරීමට හෝ විනාශ කිරීමට ක්‍රියා කරන බවත්, කිසිදු ප්‍රමිතියකින් තොරව වෙළඳපොළට ටින් මාලු අලෙවිකරන ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (21 දින ) ධීවර අමාත්‍යංශයේ පැවති “දේශීය ටින් මාළු කර්මාන්තයට බලපා ඇති ගැටලු හා දේශීය ටින් මාළු පාරිභෝගිකයන් තුළ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ටින් මාළු කර්මාන්තකරුවන්ට බලපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාව” තුළදී ධීවර අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙමඅවස්ථාවට සහභාගි වූ ටින් මාළු කර්මාන්තයේ නියැලෙන කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් අදහස් දක්වමින් පැවසුවේ, ටින්මාළු කර්මාන්තශාලා 22ක් පවතින බවත් ඉන් 12ක් පමණක් නිසි ප්‍රමිතියෙන් යුක්තව SLS තත්ව සහතිකය යටතේ ටින් මාළු අළෙවි කරන බවත්, තවද කර්මාන්තශාලා 04ක් ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත්, කර්මාන්තශාලා 06 ක් කිසිදු ප්‍රමිතියකින් තොරව වෙළෙද පොළට ටින් මාලු අළෙවි කිරීම සිදුකර ගෙන යන බවත්ය.

    එම නිසා පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ බැස ඇති බවත්, මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා දැනටමත් SLS ප්‍රමිති සහතික ලබාගෙන නොමැති කර්මාන්ත 06 සදහා ද කඩිනමින් ප්‍රමිති සහතික ලබා දීමට පියවර ගත යුතු බවත් ඒ තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගෙන දේශීය ටින් මාළු වෙළඳපොළ තුළ ප්‍රචලිත කළ හැකි බවත්, පැවසීය.

    දේශීය ටින් මාළු මෙරට ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් දැනටමත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ලංකා සතොස හා සමුපකාර සමිති තුළ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති ටින් මාළු වෙළඳපොළට මුදා හැරීමට කර්මාන්තකරුවන් කටයුතු කළ යුතුව ඇති බවත් කිසිදු අයුරකින් ප්‍රමිතියෙන් තොර ටින් මාළු අළෙවිකිරීමට අවස්ථාව නොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya