ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    නව්‍යවාදී චින්තනයකින් යුතු නව වසරක් වෙිවා!

    ජනවාරි 01, 2023

    නව අවුරුදු පණිවිඩය

    ලෝකයේ දසතින්ම හමන ආර්ථික කුණාටුද, සමාජයීය සහ දේශපාලනික සැඩ මාරුතද මැද්දේ එළඹෙන්නා වූ නව වසර අප සැමටම අභියෝගකාරී එකක් වී තිබේ. මේ සියල්ල මධ්‍යයේ කුඩා දිවයිනක පුරවැසියන් වන අපට නොසැලී, ස්වාධීනව නැගී සිටීමට ඇති හැකියාව අවමය. එනමුත් එය කළ නොහැක්කක් නොවේ.

    මා සිතන අන්දමට, අ‌පේ රටේ නිදහසේ වජ්‍ර ජයන්ති සංවත්සරය යෙදෙන 2023 වසර අරබයා අප සියලු දෙනා කල්පනා කළ යුත්තේ, එබඳු පරීක්ෂාකාරී, වගකීම්සහගත මෙන්ම ගෞරවාන්විත දෘෂ්ටි කෝණයකිනි. 2023 වසරට මං පෙත් සලසමින්, ගෙවීගිය 2022 වසර අන් කවරදාටත් වඩා ලංකා ඉතිහාසයේ වෙනස්කම්වලට බඳුන්වූ වසරක් ලෙස හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. එසේම, එම අත්දැකීම්වලින් උගත් පාඩම්, එළඹෙන දීර්ඝ අනාගතයකට මහාර්ඝ වූ උරුමයක් මිස අවාසියක් යැයි හැඳින්විය නොහැකිය.

    මෙතෙක් කල් , අප අතර ලාංකික ජාතියක් ලෙස ගොඩ නැගී තිබුණු ගෞරවාන්විත එකමුතුබව සී සී කඩ කර හැමූ , සමාජයීය , දේශපාලනික ,ආර්ථික සහ අන්තවාදී චණ්ඩ මාරුතයෙන් අපි යළිත් එක්සත්ව නැගීසිටිය යුතු වෙමු. එය හුදෙක් දේශපාලඥයන් වෙත පමණක් නොව වර්තමානය සහ අනාගතය විසින් සියලු ලාංකිකයන්ගේ දෙඋර මත පටවන ලද බරපතළ වගකීමකි.

    අතීතයේ කවරක් සිදුවූවද අනාගතයේදී නිශ්චිත වශයෙන්ම අපි එකිනෙකාට ගෞරවයෙන් යුතුව සැලකිය යුතුවෙමු. අප කවර පාර්ශවයක් නියෝජනය කළද ඊට එදිරි අනිත් පාර්ශ්වය අපගේ පිලිමලුන් සේ දකින්නට අවශ්‍යතාවයක් නැත . දෙපාර්ශවයටම , පොදු, මැදහත් එකඟතාවයකට එළඹෙන්නට නම්, ගෞරවය අත්‍යවශ්‍ය සාධකයක් වේ.

    එසේම, වැඩිහිටියන් ලෙස පසුගිය වසරටත් වඩා එළඹෙන නව වසරේදී අපි අපේ අනාගත පරපුර පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවෙමු. තරගකාරී ලෝකයක් අබියස , හැල්මේ දුවන අපේ දුවා දරුවන් දෙස ප්‍රවේශම් සහගත ඇසකින් බලා සිටිය යුත්තෝ අපි වෙමු. අපේ රටේ අනාගත නායකත්වය උසුලන දරුවන් පිළිබඳ පවුලට, පාසලට පමණක් නොව පන්සලට,පල්ලියට මෙන්ම අසල්වැසියන්ට ද මගහැර යා නොහැකි පරාර්ථකාමී වගකීමක් ඇත.

    අපට උත්තරීතර වූ නිදහසක් සමරන්නට නම්, රබීන්ද්‍රනාත් තාගෝර් කිවිඳුන් සිය සුප්‍රකට ගීතාංජලී තිස්පස්වැනි පද්‍යයෙහි සඳහන් කළ පරිදි, ජාතික නිදහසේ කාගේත් ''ස්වර්ග රාජ්‍යය''ට අප පියමං කළ යුතුය. එකී ස්වර්ග රාජ්‍යයේදී ,අපේ මනස බියෙන් තොර වේ; හිස ඍජුව තබා ගැනීමට හැකි විය යුතුය; ඥානය නිවහල් විය යුතුය; අපේ වචන, සත්‍යයේ පතුලින්ම ගලා ආ යුතුය.
    ගතානුගතිකත්වයේ ලා මැකී ගොස් තර්කානුකූල චින්තන ධාරාව සිඳී නොයා යුතුය. කාටත් සමව දිවි ගෙවනු පිණිස පසුනොබසින වීර්යයක් ඇති විය යුතුය.නව අරුණැල්ලේ රටක් අවදි විය යුතු වන්නේ, එවන් නිදහසේ රාජ්‍යයකටය.

    ඔබ සැමට 2023 වසර නිදහසෙන්, ප්‍රීතියෙන් මෙන්ම ඥානයෙන් හෙබි, නව්‍යවාදී චින්තනයකින් යුතු නව වසරක් වෙිවා!

    මහින්ද යාපා අබෙිවර්ධන ,
    කථානායක,
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya