ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

    ජනවාරි 05, 2023

    මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යයි.

    වී අලෙවි මණ්ඩලය මගින් 2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.


    ඒ සඳහාවන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ (04) අමාත්‍යවරයා විසින් අත්සන් තැබූ අතර එය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.


    මෙවර මහ කන්නයේ මේ වනවිට හෙක්ටෙයාර් හත්ලක්ෂ හැත්තෑදහසක වී වගා කර තිබේ. වී ගොවීන්ට අවශ්‍ය යුරියා හා බණ්ඩී පොහොර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රමාණවලින් සපයා ඇත. එමනිසා කිසිදු ප්‍රදේශයකින් මේ වනවිට ගොයම්වල තත්ත්වයේ අඩුපාඩු කිසිවක් වාර්තා නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.


    ඉදිරියේ දී නියඟය, ගංවතුර හෝ කෘමි හානියක බලපෑමක් එල්ල නොවුවහොත් මෙවර මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව දැනට තිබෙන කරුණු අනුව සනාථ වේ.


    මහ කන්නයේ වී අස්වනු නෙලීම පෙබරවාරි මස මුල් සතියේ සිට ආරම්භ වීමට නියමිත බැවින් ගොවීන්ගේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වී අලෙවි මණ්ඩලය මගින් මිල දී ගැනීමට නියමිතය. එහි පළමු අදියර යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටින බව එම මණ්ඩලයේ වැඩ බලන සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කරයි.

    කෙසේ වුවද මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොතෙක්ද යන්න තීරණය කරනු ලබන්නේ මිල තීරණය තීරණය කිරීමේ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කිරීමෙන් අනතුරුව ගනු ලබන තීරණය මත බව ද හෙතෙම සඳහන් කළේය. අවම වශයෙන් රුපියල් බිලියන 07ක්වත් අවශ්‍ය වනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

    පසුගිය යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය යටතේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ද , පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය බැංකු දෙකක් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට නොහැකිවී තිබේ. නමුත් වී අලෙවි මණ්ඩලය සතුව පැවැති මුදල්වලින් රුපියල් මිලියන 850ක් වැය කර වී මෙට්‍රික් ටොන් 7070ක ප්‍රමාණයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන ඇත.

    ආහාර සුරක්ෂිතතාවය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ මෙවර වී අස්වැන්නෙන් වැඩිපුර ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට හැකි වනු ඇතැයි එම මණ්ඩලය විශ්වාසය පළ කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya