දැනට අප රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂික ව අවශ්‍ය වන මව්සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වී තිබීමය. සෑම වර්ෂයකම මව්සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන්ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපෑම් කළේය.
මේ වනවිට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊට අවශ්‍ය මූලික කටයුතු සකස් කර තිබෙන අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින මිරිස්වත්ත හා මාරවිල ගොවිපොළවල පිහිටි අභිජනනාගාර දෙක උපයෝගී කර ගනිමින් ආනයනය කෙරෙන අභිජනනය කරන ලද බිත්තර මගින් මව් සතුන් ලබා ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා පුද්ගලික අංශයේ ආයතන සදහා පැවරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.
පසුගිය කාලය පුරාම අප රටේ බිත්තර හා කුකුළුමස් නිෂ්පාදනය තුළින් ස්වයංපෝෂිතව සිටිය ද 2021 වසරේ රසායනික පොහොර තහනම සමග බඩඉරිඟු නිෂ්පාදනය සියයට 40 දක්වා පහත වැටීම නිසා සත්වාහාර හිඟකම සත්ව නිෂ්පාදන පහත වැටීම කෙරෙහි උග්‍ර ලෙස බලපාන ලදී.
අප රටේ වාර්ෂික බිත්තර අවශ්‍යතාවය මිලියන 2990ක් පමණ වේ. මාසිකව බිත්තර අවශ්‍යතාවය මිලියන 249-250 අතර ප්‍රමාණයකි. නමුත් මේ වනවිට එය මිලියන 30 දක්වා පහත වැටී තිබේ.
මෙම අභිජනනය කරන ලද බිත්තර පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම ආනයනය කළහොත් ලබන මැයි හා ජූනි මාස වනවිට මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වෙතැයි පශු සම්පත් සංවර්ධන අංශය බාරව කටයුතු කරන නිලධාරිහු පෙන්වා දෙති