ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    වී වගාව ආශ්‍රිතව පැතිරෙන රෝග තත්ත්වය ගැන විමසිලිමත් වන්න - වැරදි උපදෙස් මත කෘමිනාශක නොයොදන්න

    ජනවාරි 13, 2023

    වී වගාව ආශ්‍රිතව දැනට පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වැරදි උපදෙස් මත අනිසි ලෙස කෘමිනාශක නොයොදන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    එසේම බණ්ඩි පොහොර (MOP) යෙදීම මගින් මෙම තත්ත්වයන් පාලනය කර ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව වාර්තා වූ සැනින් රෝග පාලනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමු කළ බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් මෙම රෝග තත්ත්වයන් වාර්තා වූ ප්‍රදේශවලට ගොස් රෝගය වළක්වාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පසුගිය සතියේ සිටම ආරම්භ කළ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එම අමාත්‍යංශයේ පැවති රැස්වීමකට පසුගියදා (12) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.මෙම මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සදහා සියලු සැලසුම් සකස් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.

    වී වගාව ආශ්‍රිතව මේ දිනවල පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් හතරක් හඳුනාගෙන තිබේ. ඒවා අතර පෝෂණ ඌණතා නිසා ගොයම් පත්‍ර කහ පැහැතිවීම, නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය, හා පැළමැක්කාගේ රෝගය ඒ අතර පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.


    කෘෂි විශේෂඥයින් සමග පැවැති සාකච්ඡාවේ දී මෙවර ගොවීන් වී වගාව සඳහා බණ්ඩි පොහොර නොයෙදීම ගොයම් පත්‍ර කහ පැහැතිවීමට බල පා ඇති බවත්, බණ්ඩි පොහොර මිල ඉහළ මට්ටමක පවතින බැවින් ගොවීන්ට ඒවා මිල දී ගැනීමට අපහසුතා ඇතත් රජය සෑම ගොවියෙකුටම නැවත අයකර ගැනීමකින් තොරව ‌ ලබා දෙන මුදල් බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා යොදවන ලෙසත් අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය මෙම රෝග පාලනයට විවිධ පුද්ගලයින් විසින් උපදෙස් දෙන කෘමිනාශක භාවිතා නොකරන ලෙසත්, සෑම ගොවි මහතෙක්ම තම වගා බිම හොදින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝගී තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් වහාම ප්‍රදේශයේ කෘෂි ව්‍යාප්ති නිලධාරි කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

    මෙම රෝග තත්ත්වයන් පාලනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම බතලගොඩ වී අභිජනන මධ්‍යස්ථානයේ විශේෂඥයින් ද මේ වනවිට යොදවා ඇති බව සදහන් කළ එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා රෝග පාලනය සඳහා ගොවි ජනතාවගේ සහයෝගය අතිශයින් වැදගත් වන බව ද සඳහන් කළේය. අනවශ්‍ය ලෙස බියට පත් නොවන ලෙසත්, තම වගා බිමේ දක්නට ලැබෙන වෙනස්කම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ද දැනුම් දෙන ලෙසත්, මේ වනවිට රෝගය පාලනය සඳහා ගත හැකි සියලුම දැනුවත් කිරීමේ වැඩ සටහන් අරඹා ඇති බවත් එ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් හා බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්ම මහත්මීන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya