පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    තමා සම්බන්ධව අසත්‍ය පුවත් පළකළ හා ප්‍රචාරය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

    ජනවාරි 17, 2023

    තමා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකළ හා ප්‍රචාරය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තමාට සිදුකළ අපහාසයට එරෙහිව එම ආයතනවලට හා අදාළ වගකිවයුත්තන්ට රුපියල් මිලියන 500ක මුදලක් ඉල්ලා එන්තරවාසි යැවීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (17) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

     

    පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරමින් තමන්ට සහ පාර්ලිමේන්තුවට සිදුකළ අපහාසයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවයි.

    නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වරප්‍රසාද ප්‍රශ්නය යොමුකරමින් කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ.

    ගරු කථානායකතුමනි,

    වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න මා අවසර ඉල්ලනවා. මේ කතාව දිගින් දිගටම කීම හෝද හෝද මඩේ දානවා වගේ වැඩක්. මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් නිහඬව සිටීම සමහර අයට ඒ මඩ තවත් පතුරවන්න අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා. අද දවසේ මගේ වරප්‍රසාද ප්‍රශ්නය වෙනුවෙනුත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය වෙනුවෙනුත් මේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන්න මට අවස්ථාව ලබාදීම ගැන ඔබතුමාට මාගේ ගෞරවය පුද කරනවා.

    ගරු කථානායකතුමනි,

    මම අවුරුදු 25ක විතර කාලයක් දේශාපාලනය කරලා තියෙනවා. ඒ හැම කාලයකම මම දැකලා තියෙනවා විවිධ කාලවලදී විවිධ මඩ ව්‍යාපාර, විවිධ සත්‍ය නොවන ප්‍රවෘත්ති ඕන තරම් පළවෙනවා. නමුත් මේ වගේ එල්ලීගෙන ගියාම අමාරුයි. හේතුව තමයි අද අපේ රටේ තිබෙන මාධ්‍ය ජාලා ගත්තොත් ඒවායෙන් සමහර ඒවා දැවැන්ත මාධ්‍ය ජාලා. ඒ වාගේ ජාලයකට අභියෝග කරන්න අපි වගේ තනි පුද්ගලයෙකුට තිබෙන අයිතිය ඉතාමත් සීමා සහිතයි. ඒ නිසා ඒ අයගේ බලය පාවිච්චි කරලා ඕනතරම් අවලාද, අපහාස නගනවා. ඒවා සම්බන්ධයෙන් උසාවියට යන්න ගියාම ඒ වියදම්වලටත් විශාල මුදලක් යනවා. ‍ඒ නිසා මේවාට නිහඩව සිටීම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ. එසේ නිහඩව සිටීම ඒ අපරාධකාරයින්ට තවත් අත් උදව් දීමක් හැටියට පේනවා.

    ගරු කථානායකතුමනි, මම මේ කතාව කියන්න හේතුව මේකයි. මම මේ පාර්ලිමේන්තුවට ආවට පසුව අවලාද නගන්න පටන් ගත්තෙ මීට අවුරුද්දකට විතර කලින්. ඒත් මම නිහඩව සිටි අවස්ථා අනන්ත අප්‍රමාණව තිබෙනවා. නමුත් මම කැළෑ කපනවා, පරිසරය විනාශ කරනවා කියලා එක් අවස්ථාවකදී අසත්‍ය ප්‍රවෘත්තියක් පළ වුණාම, මම ඒ සමාජ මාධ්‍ය ජාලයට විරුද්ධව පොලිසීයට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. ඒසේ පැමිණිල්ලක් දැම්මහම ඒක පරිගණක අපරාධ විමර්ශන අංශයට යොමු කළා. ඊට පසු තුන්වතාවක් කැදෙව්වා. හැබැයි එක දවසක්වත් ආවේ නැහැ. අන්තිමට ඒ පුද්ගලයා පොලිසීයේ OIC මහත්තයට එන්තරවාසියක් එව්වා. මේ පැමිණිල්ල විභාග ‍කළොත් ඔහුට විරුද්ධව නඩු දානවා. ඊට පස්සේ මම පොලිස් මූලස්ථානයට ගියා. පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. එහෙම පැමිණිල්ල කරලාත් දැන් අවුරුද්දකට වඩා වැඩියි. ඒ ගැන තාම තොරතුරක් නැහැ. මම පසුගිය 11 වන මාසයේ පොලිසියභාර ඇමතිතුමාටත්, පොලිස්පතිතුමාටත් නැවත ලියුමක් යැව්වා මේ ගැන සොයලා බලලා මට සාධාරණයක් ඉටු කරන්න කියලා.

    ගරු කථානායකතුමනි, ඒ අතරවාරයේ ඔබතුමාත් දකින්න ඇති අපේ රටේ තියෙන ප්‍රධානම පුවත්පත් කීපයක මට විරුද්ධව විශාල චෝදනාවක් එල්ල කළා. ඒ එකක පළ කර තිබුණා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කංසා වවලා කියලා. තව එකක ත්‍රෛලෝක විජයපත්‍ර ගැන කියලා තිබුණා. ගරු කථානායකතුමනි, මේකෙන් වුණේ මොකක්ද? මම මේ කිසි දේකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. මට එහෙම ඉඩමක් ඇත්තෙත් නැහැ. ඔය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මට ඉඩමක් නැහැ. එහෙම වුණත් මගෙ නම මේකට ඈදා ගත්තේ කොහොමද කියන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගරු කථානායකතුමනි, මේ නිසා මේ මොහොත වන කොට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වෙන්න පුළුවන් ඉහළම අගෞරවය සිද්ධ වෙනවා. එක් මාධ්‍යවේදියෙක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පත්තර කියන වැඩසටහනකින් කියනවා පාර්ලිමේන්තුවේ Pilot Project එකක් හැටියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. ඕනනම් ඊළඟට පොලිසීයට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගියාම මේ තියන කංසා ගන්න පුළුවන් කියලා ඉතාමත් අපහාසාත්මකව, මේ පාර්ලිමේන්තුවටත් අපහාස වෙන විදිහට තමයි කටයුතු කරන්නේ.

    ගරු කථානායකතුමනි,

    ඔය සමහර මාධ්‍යවේදීන්ට සමහර ඔය Facebook අන්තර්ජාලාවල ඉන්න සමහර අයට ඇති වෙන්න සල්ලි හම්බ වෙනවා. අපි දන්නවා පසුගිය දවස්වල දළඳා වහන්සේට අපහාස කළා. එතුමාගේ මාසෙට හම්බවෙන ගාන කීයද කියලා අවුරුද්දට හම්බෙන ගාන කීයද කියලා, අපි දැක්කා සමාජ මාධ්‍ය වැරදි ප්‍රවෘත්තියක් යැව්වා. ඒ විධියට ඒ අය සල්ලි හම්බ කරනවා. හැබැයි. අපට වෙන අපකීර්තිය. දැන් මට දරුවෙක් ඉන්නවා. මට බිරිඳක් ඉන්නවා. මට නෑයෝ ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා. මේ අපහාස කිරීම් නිසා මේ අයට සමාජයට මුහුණ දෙන්න බැරි අවස්ථා ඕනෑ තරම් යෙදෙනවා. දැන් මටත් විදෙස් රටවල්වල ඉන්න මගේ යාළු මිත්‍රයෝ මේ ගැන කතා කරලා විමසීම් කරනවා. ඉතින් ඒ නිසා මානසික වශයෙන් ඉතාමත් පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ඒ නිසා ගරු කථානායකතුමනි, සමහර ජාතික යැයි කියා ගන්නා මාධ්‍ය හැසිරෙන්නේ මෙහෙම නම් අපේ රටේ අවාසනාව. මොකද මෙහෙම ගියොත් සාන්තුවරයෙකුටවත් මේ රටේ දේශාපාලනය කරන්න බැහැ. දැන් අද වෙනාකොට මේ 225 දෙනාම මාධ්‍ය තුළ සමාජයේ මහා බයිට් එකක් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා අද දවසේ මම වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට මේ යෝජනාව ගෙනෙන්නෙ ‍මට යම් සාධාරණයක් ඉෂ්ට වෙයි කියන විශ්වාසයෙන්. ඒ වාගේම මම මේ වෙන කොට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මට කරපු අපහාසය වෙනුවෙන් මම මේ වෙන කොට අවහ්‍ය නීතිමය ක්‍රියා මාර්ග අරගෙන තියෙනවා. ඒ සියලු දේවල් මම සභාගත කරනවා. ඒ වාගේම ගරු කථානායකතුමනි, මාගේ වරප්‍රසාද ප්‍රශ්නය මං ඉදිරිපත් කරනවා.

    11 වැනි දින ලංකාදීප පුවත්පතෙහි 1 වැනි පිටුවේ සහ 5 වැනි පිටුවෙහි “නියෝජ්‍ය කථානායකගෙන් බද්දට ගත් ඉඩමේ කංසා වවලා” යන සිරස්තලය යටතේ මා සම්බන්ධයෙන් පළ වී ඇති ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය වන අතර එම ප්‍රවෘත්තිය තරයේ මම ප්‍රතික්ෂේප කරමි.

    ඒ වගේම පසුගිය 12 වැනි බ්‍රහස්පතින්දා “මව්බිම” පුවත්පතෙහි 11 වැනි පිටුවේ “නියෝජ්‍ය කථානායකගේ ඉඩමක් කුලියට අරන් තෛ‍්‍රලෝක විජයපත්‍ර වවලා” යනුවෙන් සඳහන් ප්‍රවෘත්තිය ද මුළුමනින්ම අසත්‍ය වන අතර එය ද තරයේ මම ප්‍රතික්ෂේප කරමි.

    ගරු කථානායකතුමනි,

    මෙම ප්‍රවෘත්තිය මඟින් කියවෙන ඉඩම මාගේ නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි. එමෙන්ම මා පදිංචි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වෙනත් කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක ඉඩමක් මාහට නොමැති බවද අවධාරණය කරමි.

    මාගැන සඳහන් කරමින් මෙවැනි ප්‍රවෘත්තියක් ලිවීමේදී මාගෙන් විමසීමක් සිදුකර අවම මාධ්‍ය ආචාර ධර්මයක් හෝ භාවිතා නොකිරීම ගැන මම කණගාටුවට පත්වෙමි.

    මෙම ප්‍රවෘත්තිය මුල්කරගෙන පසුගිය 11 වැනිදා සහ 12 වැනිදා උදෑසන විවිධ රූපවාහිනී නාලිකාවලින් පත්තර කියවන මාධ්‍යවේදීන් ද මෙම ප්‍රවෘත්තියට ලබාදුන්නේ ඉතා ඉහළ ප්‍රසිද්ධියකි.

    රූපවාහිනියෙන් පත්තර කියවන ඇතැම් මාධ්‍යවේදීන් එම ප්‍රවෘත්තියේ නැති තොරතුරු තමන්ගේ අතින් දමා කියමින් මාහට අපහාස කිරීම හා මාගේ දේශපාලනය කෙරෙහි සමාජයේ වෛරයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමද මාහට ඉතා හොඳින් නිරීක්ෂණය ‍විය. එම ප්‍රවෘත්තිය හරහා රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීමට ද පත්තර කියවන ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කර තිබුණි.

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන පත්තර කියවන එක් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළේ මෙය පාර්ලිමේන්තුවේ Pilot Project (නියමු ව්‍යාපෘතියක්ද?) කියා තමා සිතු බවයි. මින් පසුව කංසා හොයන අය පාර්ලිමේන්තුවට යයි කියාත් එම මාධ්‍යවේදීයා ප්‍රකාශ කළේය.නියෝජ්‍ය කථානායකතුමා තමයි ගංජා වගාකරන්නේ යනුවෙන්ද ප්‍රකාශයක් එම මාධ්‍යවේදියා විසින් සිදුකරන ලදී.

    ගරු කථානායකතුමනි, මෙම ප්‍රවෘත්තිය මඟින් මට අපහාස කිරීමට අමතරව රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට ද අපහාස කිරීමටත් පාර්ලිමේන්තුව කෙරෙහි සමාජයේ වෛරය ඇතිවන ආකාරයටත් කටයුතු කිරීම ගැනත් ඔබතුමාගේත් මෙම ගරු සභාවේත් අවධානය යොමුකරන ලෙස මම ඉල්ලා සි‍ටිමි.

    ලංකාදීප සහ මව්බිම පුවත්ප‍ත්වල මෙම වැරදි ප්‍රවෘත්තිය පදනම් කරගෙන ඇතැම් වෙබ් අඩවිද මෙම පුවත පළකරමින් ඊට ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලබාදී තිබුණි.

    ලංකාදීප සහ මව්මිබ පුවත්‍පත්වල මෙම වැරදි ප්‍රවෘත්තිය පළකිරීම, එය පදනම් කරගෙන රූපවාහිනියෙන් පත්තර කියවන ඇතැම් මාධ්‍යවේදීන් ඊට ඉහළ ප්‍රසිද්ධියක් ලබාදීම, ඇතැම් වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල මෙම වැරදි ප්‍රවෘත්තිය පළකර තිබීම නිසා මාගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බව මෙමඟින් දැනුම් දෙමි. එමෙන්ම මෙම වැරදි ප්‍රවෘත්තිය මඟින් මාගේ කීර්ති නාමයට මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ රැකගෙන පැමිණි මාගේ දේශපාලන ප්‍රතිපත්තිවලට හා මාගේ සමාජ මෙහෙවරට අවලාද නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට සමහරු කටයුතු කරමින් සිටිති.

    ගරු කථානායකතුමනි, මෙම වැරදි ප්‍රවෘත්තිය නිවැරදි කර මාහට අපහාස වන ආකාරයෙන් මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තියට සමාන ප්‍රසිද්ධියක් මෙ ම නිවැරදි කිරීමට ලබාදෙන ලෙස අදාළ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන්ට සහ ප්‍රවෘත්ති කර්තෘවරුන්ට දැනුම් දෙන ලෙස ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිමි.

    මීට අමතරව විශේෂ කාර්යය බලකායේ උසස් නිලධාරියෙකු පැවසු බව සඳහන් කරමින් මෙම ප්‍රවෘත්තිය පළකර තිබේ.

    එම උසස් නිලධාරියා මා ගැන වැරදි තොරතුරක් පුවත්පත්වලට ලබාදුන්නේ කුමන අරමුණකින් ද කියා දැනගැනීම සඳහා පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ විශේෂ කාර්යය බලකායේ අණ දෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දෙන ලෙසද ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිමි.

    මෙම වැරදි ප්‍රවෘත්තිය පළකිරීම නිසා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමුකර කඩිනමින් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙසට ද ගරු කථානායකතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඊට අමතරව මෙම වැරදි ප්‍රවෘත්තිය මුල්කරගෙන පාර්ලිමේන්තුවට අපහාස කිරීම සම්බන්ධයෙන් ද වරප්‍රසාද කමිටුවේ අවාධානය යොමුකරන ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. බොහොම ස්තූතියි.''

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya