ජූනි 09, 2025
tami eng youtube  twitter facebook

    ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තො ප්‍රමුඛ ආදිවාසී නායකයෝ පාර්ලිමේන්තුවට පැමිණෙති

    ජනවාරි 18, 2023

    කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා
    ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පනතක් සකස් කරන ලෙස ආදිවාසි නායකයා ඉල්ලයි

    ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසි ප්‍රජාවගේ නායකයෝ රැසක් ඊයේ (17) පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු හමුවූහ.

    ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමුවී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා වෙත භාර දීම මෙහිදී සිදුවිය.

    මෙහිදී පැවති සාකච්ඡාවලදී ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් පෙන්වා දුන්නේ ආදිවාසි ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සදහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බවයි.

    ආදිවාසි ජනතාවගේ උන්නතිය සදහා යම් පියවර විවිධ අවස්ථාවලදී ගෙන තිබුණද ඒවාට නෛතික ශක්තිමත් බවක් නොමැතිවීම නිසා සිය ජීවනෝපාය සිදුකිරීමේදී ආදිවාසි ජනතාවට මුහුණදීමට සිදුවන විවිධ ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ආදිවාසි නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

    1963 වසරෙන් පසු මෙරට ආදිවාසි ජනතාවගේ දත්ත සම්බන්ධයෙන් සංගණනයක් සිදුකොට නොමැති වීම ගැටලුවත් බව ද මෙහිදී ඔවුහු පැවසීය. 1963න් පසුව සිදුකරන ලද සංගණනවලදී ආදිවාසි ප්‍රජාවගේ දත්ත ‘වෙනත්’ යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කිරීමෙන් අසාධාරණයක් සිදුව ඇති බවත් ආදිවාසි නායකයෝ දන්වා සිටියහ.

    මේ අනුව ලොව ඇතැම් රටවල ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් පිළිගෙන වෙනම පනතක් මගින් ඒ සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සපයා ඇති අයුරින් මෙරටද ආදිවාසි ජනතාවට එම පිළිගැනීම සහ අයිතිවාසිකම් හිමිවිය යුතු බව මෙහිදී සාකච්ඡා විය.
    එසේ ම ආදිවාසී කාන්තාවන් මුහුණ පා තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ අදාළ ගැටලු අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කොට ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

    එසේම අග්‍රාමාත්‍යවරයා ද පවසා සිටියේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි. ආදිවාසී ජනයා ප්‍රාදේශීය වශයෙන් මුහුණ දෙන ගැටලු විස‍ඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු පියවර සොයා බලන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාට උපදෙස් ලබාදුන්නේය. පාර්ලිමේන්තුවේ කමිටු මගින් ගතහැකි ක්‍රියාමාර්ග ගැන සොයාබලන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ස‍ංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ පාර්ලිමේන්තුව මගින් කළ හැකි දේ සඳහා විශේෂ අවධානය යොමුකරන බවයි.

    ආදිවාසි ජනතාවගේ මෙම ඉල්ලීම් ඉතා සාධාරණ බවත් මේ සදහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙහිදී අවධාරණය කර සිටියේය.


    මෙම අවස්ථාවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් ලයනල් ගුරුගේ, ලලින්ද වික්‍රමරත්න, ලහිරු කිතලගම යන මහත්වරු ඇතුළු පිරිසක්එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya