ජනවාරි 30, 2025
tami eng youtube  twitter facebook

    ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබාදෙනවා- රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

    ජනවාරි 19, 2023

    ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ගැටලු වලට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී අද(18) ප්‍රකාශ කළේ ය.

    ආදීවාසී ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුර වික්‍රමනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

    එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාස වන විට , ආදී වාසීන්ට අයත් විදේශ රටවල ඇති කෞතුක භාණ්ඩ 400කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරන බවද සංස්කෘතික රාජය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. තවද ඉංග්‍රීසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පැරණි ආදිවාසී මානව හිස් කබල් 7ක් සහ අස්ථි කොටස් මේ වන විටත් මෙරටට ගෙන්වා තිබේ. එම හිස්කබල් නවීන තාක්ෂණය යොදා ගනිමින් දඹාන කෞතුකාගාරයේ මහජනතාවට නැරඹිය හැකි ලෙස ප්‍රදර්ශනය කර තිබේ.

    ආදී වාසී ජනතාවට පාරම්පරිකව හිමි ඉඩම් වල අයිතිය යළි ඔවුනට ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙන අතර ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ.මේ වන විටත් රජය ආදීවාසී ගම්වලට ගොස් ඔවුන්ගේ ගැටලු සෙවීමට කටයුතු කරයි. මීළඟ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ දී මේ සඳහා අනුකමිටුවක් පිහිටුවීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසි ප්‍රජාවගේ නායකයෝ රැසක් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසුණු බවද හෙතෙම පැවසීය.

    ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමුවී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා වෙත ඊයේ භාර දී තිබුණි. මෙහිදී පැවති සාකච්ඡාවලදී ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් පෙන්වා දුන්නේ ආදිවාසි ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සදහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya