ජනවාරි 29, 2025
tami eng youtube  twitter facebook

    එන්නත් ගබඩා කිරීමට අධි තාක්ෂණික ශීත කාමර 13 ක්

    ජනවාරි 25, 2023

    නිසි උෂ්ණත්වයෙන් යුතුව දීර්ඝකාලීනව එන්නත් ගබඩා කළ හැකි අධිතාක්ෂණික එන්නත් ගබඩා ශීත කාමර (walk-in cold rooms) 13 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ජපන් රජය විසින් අද (24) පරිත්‍යාග කෙරිණි.

    ජපන් රජයේ හදිසි ආධාර යටතේ සහ මෙරට ළමුන්ගේ දිගුකාලීන මෙන්ම කෙටි කාලීන සෞඛ්‍ය අවශ්‍යතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ ඒවාට පිළියම් යෙදීමට අවධානය යොමු කරමින් ලබාදුන් මෙම ශිත කාමර මෙරට එන්නත් ගබඩාකරණ කටයුතු සදහා නවීන තාක්ෂණයෙන් මෙන්ම අධික උෂ්ණත්වයට සංවේදීව එන්නත් විශාල තොගයක් ආරක්ෂිතව තබා ගත හැකි වේ.

    මෙම වැඩපිළිවෙල සංකේතවත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ස්ථාපිත කළ එන්නත් ගබඩා ශීත කාමර 03 ක් විවෘත කිරිම අද දින (24) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකුෂි හිදෙකි මහතාද එක්ව සිටියහ.

    යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණයෙන් ජපන් රජය විසින් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

    ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ට වඩා වටිනා මෙම විශාල ශීතකරණ 13 වසංගත රෝග විද්‍යා අංශයට 03 ක්, මධ්‍යම ඖෂධ ගබඩාවට 02 ක් වශයෙන් ලබාදී ඇති අතර, අනෙක් ශීත කාමර 08 දිස්ත්‍රික් 05 ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ථාසවල ස්ථාපිත කෙරේ.

    මෙම ශීත කාමර, උෂ්ණත්වය අඛණ්ඩව නිරික්ෂණය කිරීමේ නවීන තාක්ෂණයෙන් යුක්තය. උෂ්ණත්වයේ වෙනසත් සිදු වුවහොත් අයන්ත්‍රිකව වෙනස් කළ හැකි මෙන්ම ස්වයංක්‍රීයවද උෂ්ණත්වය පාලනය කරනු ලැබේ. අනතුරු නිවේදනය කිරීමේ දත්ත පද්ධතියකින්ද යුක්ත වන අතර, ලෝක ජාල පද්ධතියක් (Network) හරහා අඛණ්ඩව නිරීක්ෂණය වනු ලැබේ. කිසියම් ගැටළුවක් වුවහොත් කාර්ය මණ්ඩල දුරකථනවලට ඒ බව ක්ෂණිකව දැනුම් දෙයි.

    මෙහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ජපානය හා ශ්‍රී ලංකාව අතර ඉතා දීර්ඝ කාලයක සිට මිත්‍ර සබඳතාවයක් වන බවත්, කොවිඩ් ව්‍යසනය අවස්ථාවේදී මෙන්ම, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත්, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ද මානුෂීය තත්ත්වය සැලැකිල්ලට ගනිමින්, ජපානය ආහාර, පෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව යන ක්ෂේත්‍ර සඳහා දක්වනු ලබන දායකත්වය ඉතා අගය කොට සලකන බව ද පැවැසිය.

    මෙම පරිත්‍යාගය ලබාදීමත් සමග ජනතාවට ලබාදෙනු ලබන එන්නත් සුරක්ෂිතව ලබාදීමේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව ද දරුවන්ගේ දිගු කාලීන සහ කෙටි කාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා යුනිසෙෆ් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රයත්නයන්ට සහාය වීමට ජපන් රජය සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා කීය.

    මෙමගින් රටේ ජාතික එන්නත්කරණ වැඩසටහන සදහා අවශ්‍ය එන්නත් නිසි උෂ්ණත්වයක් යටතේ ගබඩා කර ගැනිමට මෙන්ම මාස 06 ක කාලයකට අවශ්‍ය ලෙස එන්නත් ගබඩා කර තබාගැනිමට හැකිය. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක මෙම ශීත කමර ගබඩා තුළට බෙදාහැරෙන එන්නත් ඒ ඒ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කරා බෙදාහැරිම මෙයින් සිදු කෙරේ. මෙම එක් ශීත කාමරයක් තුළ එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් ගබඩා කර තැබිය හැකි බවත් එමගින් එන්නත් නියමිත

    උෂ්ණත්වය යටතේ පවත්වාගෙන එන්නත්වල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගත හැකි බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වන විට වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් ගබඩා සංකීර්ණයක් වන අතර, එය ශීත කාමර 10 කින් යුක්තය. මෙම පරිත්‍යාගය සමග වසංගත රෝග විද්‍යා අංශය සතු එන්නත් ගබඩාකරණ ශීතාගාර සංඛ්‍යාව13 ක් දක්වා ඉහළ යනු ඇත.

    ශිත කාමර 13ට අමතරව පෝෂණ සැපයුම් ( nutrition supplies) පරිත්‍යාග ලබාදිම ද අද සිදු කෙරුණු අතර, එය ජපන් තානාපති මිසුකුෂි හිදෙකි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබාදීම සිදු විය.

    එමගින් පෝෂණ ද්‍රව්‍ය ප්‍රදානය කිරීම ද සිදු විණි. මෙම සැපයුම්, දරුවන් රැකබලා ගැනීම, පරීක්ෂා කිරීම සහ මන්දපෝෂණය සඳහා උපදේශනය ලබාදීම ඇතුළුව අවශ්‍ය පසු විපරම් සැපයීම සඳහා ක්ෂණිකව අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීම සඳහාත් ඇමරිකානු ඩොලර් 500,000 ක පරිත්‍යාග ලබාදීමද සිදුවිය.

    මෙම අවස්ථාවට යුනිසෙෆ්හි ශ්‍රී ලංකා නියෝජිත (Representative, UNICEF Sri Lanka) Mr. Christian Skoog , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද,යුනිසේෆ් ආයතනයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya