ජනවාරි 29, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට රැස්වෙයි

    ජනවාරි 25, 2023

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක   සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නොවැලැක්විය හැකි හේතුවක් මත අද දින රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබිණි. එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර යන මහත්ම මහත්මීහුද මීට එක්ව සිටියහ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නෛතික ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී ඇති බලතල මෙන්ම සභාවේ ඉදිරි කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ වගන්තියේ උපලේඛනගතව දක්වා ඇති පරිදි කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර එම කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස පත්කිරීම සදහා ඊට උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීමට එකඟ විය.

    ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සදහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කෙරෙනු ඇත. එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක (02) කාලයක් ලබා දෙනු ලැබේ. තවද අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර පුවත්පත් දැන්වීම හරහා දැනුම් දෙනු ලැබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සහ කාර්යයන් ස්වාධීනව, වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීමට ද ඒකමතිකව එකඟත්වය මෙහිදී පළ විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya