ඒ අනුව හාලිඇල, ඔහිය, අඹේවෙල, පට්ටිපොල, නානුඔය වැනි දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් භාන්ඩ ප්‍රවාහනයේ හා මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ නිරත වන පෞද්ගලික අංශයේ ආයතනවල දායකත්වය ද සහිතව උඩරට ප්‍රදේශවල නිෂ්පාදනය වන එළවළු සහ පලතුරු වඩාත් ක්‍රමවත්ව සහ ඉහළ ප්‍රමිතියකින් යුතුව අගනුවර ඇතුළුව අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ හැකියාව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය මැදිරි කිහිපයක් යොදා ගනිමින් පර්යේෂණ ධාවනයක් සිදුකර තිබේ.
එහි වත්මන් තත්වය සහ පර්යේෂණ ධාවනයෙන් ලබාගත් නිරීක්ෂණයන් පිළිබඳව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් නිලධාරින් සහ ව්‍යාපෘතියට දායක වන පෞද්ගලික අංශයේ ආයතන වල නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය.
ඒ අනුව එළවළු පලතුරු ප්‍රවාහනයට පහසුකම් සහිතව දැනට මගී ප්‍රවාහනයෙන් ඉවත් කර තිබෙන දුම්රිය මැදිරි පහක් සුදුසු පරිදි නවීකරණය කොට මෙම පර්යේෂණ ධාවනය සිදු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. එසේම එහිදී පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට දුම්රිය මගින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම කිරීමේ දී අනුගමනය කරන ලද ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු කරමින් කටයුතු කළ බව නිලධාරින් විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
එසේම වඩා විධිමත්ව හා සෞඛ්‍ය ආරක්ෂිත වත්, අවම පිරිවැයකින් සහ අවම කාලයකින් මෙම එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයත්, දැනට එම කාර්යයෙහි නිරත වන සුපිරි වෙළඳසැල ජාලයන් හා භාණ්ඩ බෙදාහැරීමේ ආයතන විසින් අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී එම ආයතනවල නියෝජිතයින් විසින් පැහැදිලි කළ අතර එම සියලු කරුණු ද සැලකිල්ලට ගනිමින් වඩාත් තරගකාරී ආකාරයට මෙම ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ අමාත්‍යවරයා පෙබරවාරි මස මුල් සතිය වන විට සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් මේ පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඇතුළත් වාර්තාවක් සකස් කර තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
එමෙන්ම ඒ සඳහා කොළඹ හා ඒ අවට ආර්ථික මධ්‍යස්ථාන වෙත දැනට ලොරි රථ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් එළවළු ප්‍රවාහනය සිදුකරන සැපයුම්කරුවන්ගේ සෘජු අදහස් ද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අනුව කාලය,පිරිවැය, නාස්තිය අවම කිරීම ඇතුළු සියලු අංශ වෙත අවධානය යොමු කරමින් අදාළ වාර්තාව කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් මෙම අවස්ථාවේදී උපදෙස් ලබා දුන්නේ ය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, අමාත්‍යංශයේ නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ව්‍යාපෘතියට සම්බන්ධ පෞද්ගලික ආයතන කිහිපයක නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.