ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීමට කරුණු 4ක් පිළිබඳ සාකච්ඡා-කෝප් කමිටුව අදාළ නිලධාරීන් කැඳවයි

    ජනවාරි 26, 2023

    • නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කොට වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය
    • කුකුළු නිෂ්පාදන ආශ්‍රිත දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා.
    • වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය.
    • පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි අවධානය

    ඉහත කරුණු 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට 2023.01.19 පැවති කමිටුවේ දිගුවක් ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේනුත මන්ත්‍රී (මහාචාර්ය) ගරු රංජිත් බණ්චාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (25) රැස් විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.


    නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කොට වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය


    පෙර පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නියෝගයට අනුව ඊයේ දින වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් බිත්තරයක නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලදි.


    මේ අනුව මෙම ඉදිරිපත් කරන ලද මිල සූත්‍රය සහ අනෙකුත් කරුණු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභා සභාපති (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර මහතා මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි විවිධ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මිල සූත්‍රය නැවත සලකා බලන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
    මෙහිදී කාරක සභා රැස්වීමේදී සාකච්ඡා වූ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රයේ අවශ්‍ය සංශෝධන පිළිබඳ නැවත සලකා බැලීමට පායවර ගන්නා බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

    දේශීය කුකුළු නිෂ්පාදන ආශ්‍රිත බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වෙයි.

    මෙහිදී කෝප් කමිටුවේ අදහස වූයේ කුකුළු නිෂ්පාදන ආශ්‍රිත බිත්තර කර්මාන්තය සුරක්ෂිත කළ යුතු බවයි. ඒ අනුව රුපියල් 51 මිලකට මාස 1 ½ බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිනම් ඉදිරයේදී බිත්තර මිල අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව විසින් කෝප් කමිටුව හමුවේ සඳහන් කළ බව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

    මේ අනුව දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන අතරම, පාරිභෝගිකයාගේ දෘෂ්ටිකෝණයෙන්ද මේ දෙස බලා සියලු පාර්ශ්ව වෙත සාධාරණයක් වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව කමිටුවේ අදහස විය.

     වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය.


    දිනකට බිත්තර මිලියන 3ක පමණ තාවකාලික හිඟයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර මේ සඳහා කඩිනම් පිළියමක් මේ වන විට නොමැති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. එබැවින් පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළ සඳහා ආනයනය කිරීමට එකඟ වී ඇති බව ද පැමිණ සිටි නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.


     පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි අවධානය


    මේ පිළිබඳ ඉදිරිපත් කර ඇති සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට සාධාරණයක් වන ආකාරයෙන් බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට සියලු පාර්ශ්ව උත්සාහයන් දැරිය යුතු බව කෝප් කමිටුවේ අදහස විය.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසත්, මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සෙවීමට සියලු පාර්ශ්ව සාමූහිකව කටයුතු කරන ලෙසත් කෝප් කමිටුවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, නිමල් ලන්සා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (නීතිඥ) ප්‍රේම්නාත් සී දොලවත්ත, (නීතිඥ) මධුර විතෘනගේ සහ (මහචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම අවස්ථාව‍ට එක්ව සිටියහ.

    එසේම වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya