කොරියානු ජනරජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම සියයට සියයක් පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්තශාලාව මඟින් සිදු කරයි.
මෙම කර්මාන්තශාලාව මුළුමනින්ම අධිතාක්ෂනික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණයද යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ දී කාබනික පොහොර යොදා ගැනීම යහපත් හැරවුම් ලක්ෂ්‍යයක් වුවත්, පසුගිය කාලයේ එකවර මෙම කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යාම නිසා ඒ පිළිබඳ ගොවීන්ගේ විශ්වාසය බිඳවැටුණු බවත් සඳහන් කළේය. නමුත් ඉහළ ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර තවමත් අපේ රටේ බොහෝ ගොවීන් භාවිතා කිරීමට කැමැත්තක් දක්වන නිසා මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අතිශයින් වැදගත් වන බවත් සඳහන් කළේය.
එමෙන් ම ඩොලර් මිලියන 05ක් වැනි මුදලක් ආයෝජනය කරමින් මෙම කර්මාන්තශාලාව පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් Hysong OnB සමාගමට සහ කොරියානු ජනරජයට තම කෘතඥතාවය පළ කරන බව ද සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතා, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා - කොරියානු මිත්‍රත්ව සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා උචිත ව්‍යාපෘතියක් බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිතුරු සබඳතාවය නව තාක්ෂණයෙන් යුත් මෙම පොහොර කර්මාන්තශාලාව මඟින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, එම මිතුරු සබඳතා අඛණ්ඩවම පවත්වාගෙන යාමට කොරියානු රජය කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.