අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (30) පෙරවරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමිනි.
විදෙස් රැකියාවලට තරුණ තරුණියන් පුහුණු කිරීමේ කටයුත්ත සදහා පළාත් සභාවල සහයෝගය ලබා ගැනීම අරමුණු කරගෙන මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
ඒ අනුව, පළාත් සභා සතු සම්පත් උපයෝගී කර ගනිමින්, විදේශ රැකියා ඉලක්ක කර ගත් පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා වන පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සියලු පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභාවල ඉහළ නිලධාරීන් සමග ඊයේ (30) පියවර ගන්නා ලදි.
එමෙන්ම, පළාත් සභා මට්ටමෙන් විදේශ රැකියා ඉලක්ක කර ගත් සාත්තු සේවා පාඨමාලා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය ඉකුත් දා උතුරුමැද පළාත් සභාවෙන් ආරම්භ කළ අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඒ සඳහා මූලිකත්වය දැරීය. එහි උපයෝගීතාවත්, සාර්ථක අසාර්ථක භාවයත් සලකා බැලීමෙන් අනතුරු ව සියලු පළාත් සභා මට්ටමෙන් එය ආරම්භ කිරීමට මෙලෙස පියවර ගනු ලැබිණි.
ඒ අනුව, ඊයේ (30) පළාත් සභා සියල්ලේ ම ආණ්ඩුකාරවරුන් සහ වගකිව යුතු නිලධාරීන් සමග ඒ ඒ පළාත් සභාවට අදාළ වන පරිදි සාත්තු සේවා පුහුණු පාඨමාලාවට අමතර ව විදේශ රැකියා ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. එසේ ම ඒ ඒ පළාත් සභාවට අනන්‍ය විශේෂිත පුහුණු පාඨමාලා ද, එනම් දකුණු පළාත තුළ ධීවර කර්මාන්තය ආශ්‍රිත විශේෂ පුහුණු පාඨමාලා, උතුරු මැද කෘෂි කර්මාන්තයට විශේෂිත පාඨමාලා යනාදී වශයෙන් විශේෂිත පාඨමාලා රැසක් ද ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“සේවා ආර්ථිකයක් ලෙස රට දියුණු කරන්න ඕන කියලා තිබියදී අපිට ටිකක් ඉක්මනින් ඉදිරියට යන්න පුලුවන්. ඉක්මනට ඩොලර් ටිකක් අරගෙන එන්න පුළුවන්. ඒකත් එක්ක ශුද්ධ ආදායම හැටට හතලිහක් විදියට තමයි ඒන්නෙ. විදේශිකයෝ ආවාට තවත් කොටසක් සල්ලි එළියට යනවා.
එහෙනම් අපි රටක් විදියට මොනවාද කළ යුත්තේ. ඉක්මනින් අපිට ශුද්ධ ඩොලර් ආදායමක් ගන්න පුලවන් වෙන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙන්. අපි බිලියන 7.6 ක් ලංකාවට ගෙන්නුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ගන්නේ බිලියන 2.8 යි. ඒ අනුව අපි කලින් හිටපු තැනට ගියත් රටේ ප්‍රශ්ණ ටික විසදා ගන්න අපට පුලුවන්. මාසිකව ලැබෙන ඩොලර් මිලියන දෙසීය ගණන, වැඩි කරගෙන මාසයකට ඩොලර් බිලියනක ආදායමක් ලබාගැනීමට අපි කටයුතු කරනවා. අවුරුද්දකට ඩොලර් බිලියනක් ගෙන්න පුලුවන් නම් අපිට කොතැනකට එන්න පුලුවන්ද. පිලිපීනය, පකිස්ථානය, ඉන්දියාව වගේ රටවල වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන්. ඉන්දියාවට පසුගිය අවුරුද්දේදී ඩොලර් බිලියන 100ක් ලැබුණ නිසා තමයි ඉන්දියාවට ඩොලර් බිලියන 400ක විදේශ විනිමය සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණේ.
මෙතනින් එහාට යන්න පියවර ගැනීම අපි හැමෝටම තියෙන වගකීමක්. මෙතැනින් එහාට යන්න අපි මොනවද කරන්නේ කියලා හිතන්න ඕන. අපි බදු ලිපි ගොනු ලක්ෂ 16 ක් තිබිච්ච රටක්. නමුත්, අපි ඒ බදු ලිපි ගොනු සංඛ්‍යාව ලක්ෂ 4 ක් දක්වා අඩු කරගෙන රාජ්‍ය ආදායම බරපතල විදිහට අහිමි කරගගත්තා. ඩොලරයේ අගය කෘතිමව පාලනය කරන්න ගිහින් උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු වෙන්න ගත්තා. තෙල් ටික, ගෑස්, බෙහෙත් ගෙන්වන්න මුදල් තිබුණේ නෑ. ගල් අගුරු, තෙල්, ගෑස් ණයටවත් අපේ රටට නොදෙන තත්වයකට වැටිලා තිබුණා. අපි දැන් ඒ තැනින් පියවරක් ඉදිරියට එමින් තිබෙනවා. ජපානය, චීනය, ඉන්දියාව අපිත් එක්ක යම් යම් එකගතාවයන්ට පැමිණෙනවා.
ලෝකය ඉන්දියානුකරණය වීමත් එක්ක ලෝකයේ බොහෝ රටවල ඉහළම නිලධාරීන් ඉන්දියානු ජාතිකයින්. බ්‍රේන් ග්‍රේන් එකක් වෙනුවට බ්‍රේන් ගේන් එකක් වෙත යන්න ඕන. දකුණු කොරියාව කඩා වැටුණ වෙලාවේ කොරියානු ජාතිකයින් මැද පෙරදිගට ගිහින් රැකියා කළා. නැවත රටට ඇවිත් කර්මාන්ත ආරම්භ කළා. ඒ කර්මාන්තවලින් තමයි රට ගොඩ නගාගත්තේ. කෙටි කාලීනව කල්පනා කරන්නේ නැතිව, දීර්ඝ කාලීනව කල්පනා කරලා කටයුතු කළ යුතුයි. කුඩා කුඩා කර්මාන්ත නිර්මාණය කළ යුතුයි. රට පුරාම ව්‍යවසායකත්වය නිර්මාණය කළ යුතුයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විතරක් මේක තනිවම කරන්න බෑ. ඒ නිසා තමයි පළාත් සභාවල සහාය ලබාගෙන විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.
රටක් විදියට අපි පුහුණුවට කැමැති නැති අය. බිලියන 3.2ක් වෘත්තීය පුහුණු අධිකාරිය අවුරුද්දකට පුහුණුවීම් සදහා වෙන් කරනවා. නමුත්, කිසිම වෘත්තීය සුදුසුකමක් නොමැතිව අපේ අය රැකියා ඉල්ලනවා. රැකියාවක් ගන්න වෘත්තීය සුදුසුකම් අවශ්‍යයි. අනිත් එක තමයි අපේ රටේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ දේශපාලඥයන්ට පෝස්ටර් ගහන එකත් රැකියාවක් ගන්න සුදුසුකමක් විදිහටයි. දේශපාලඥයනුත් ඒ විදිහටම හිතල වැඩ කරපු නිසා තමයි අද වෙනකොට රාජ්‍ය ආයතන මේ තරම් සේවකයන්ගෙන් පිරිල ඉතිරිලා ගිහින් තියෙන්නෙ. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුව තියෙනවා. ඒ සඳහා අපට වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ජාතික වැඩපිළිවෙලක් විය යුතුයි”යනුවෙනි.