මෙම වැඩසටහන යටතේ හික්කඩුව, රත්ගම මාදම්පාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දුම්රිය ඉඩම් භුක්ති විදින විශාල පිරිසකගේ දුම්රිය ඉඩම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලබාදීම සිදුවිය. එහිදී දුම්රිය සතු ඉඩම් නියමානුකූල කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම, ඒ පිළිබඳව නීතිමය පසුබිම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සුදුසුකම් සම්පූර්ණ කරන ලද පිරිස් වෙනුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු සේවාවන් රැසක් ජංගම සේවය යටතේ ක්‍රියාත්මක විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
නිදහස ලැබීමෙන් පසුව මුහුණ දී සිටින දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ විශාල අපහසුතාවයන් රැසකට අප මුහුණ පා සිටිනවා. මතුව තිබෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඊට ආර්ථිකමය විසඳුමක් සෙවිය යුතුයි. ඒ සඳහා දේශපාලන මති මතාන්තර වලින් තොරව මේ තත්ත්වය තේරුම් ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම රජයේ ආයතන වියදම් කළමනාකරණය කර ගනිමින් හැකිතාක් පාඩු නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පාඩු නොලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මූලික ක්‍රියාමාර්ග රැසක් පසුගිය කාලයේදී ගනු ලැබුවා. නව සංචාරක දුම්රිය සේවාවන් හඳුන්වා දීම තුළින්, ගාස්තු සංශෝධනය කිරීම තුළින් මෙන්ම විශාල කාලයක් නියමිත බදු නොගෙවා දුම්රියේ ඉඩම් භුක්ති විඳී අනවසරකරුවන් නියමානුකූල කිරීම තුළින් දුම්රිය වෙත ලැබිය යුතුව තිබූ විශාල මුදලක් නැවත ලබා ගැනීමට අපට හැකියාව ලැබුනා.
කිසිදු බදු මුදලක් ගෙවීමකින් තොරව දුම්රියේ ඉඩම් භුක්ති විඳීන ජනතාවට, පවතින ආර්ථික අපහසුතාවයන් ද සැලකිල්ලට ගනිමින් රජයට හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අයවිය යුතු බදු නියමිත පරිදි ගෙවීම සඳහා සහනදායි අවස්ථාවක් මෙම ජංගම සේවය යටතේ සලසා දෙනවා. වසර දහයකට වැඩි කාලයක් අනවසර පදිංචිකරුවන් ලෙස සිටින ජනතාවට අදාළ බදු මුදල් ගෙවා තාවකාලික බදු ගිවිසුම් වලට එළඹීමේ අවස්ථාවත්, බදු ඔප්පු සහිතව වුවත් බදු නොගෙවා සිටින පිරිසට නියමිත බදු මුදල් ගෙවීම් සඳහා සහනදායී වැඩපිළිවෙළක් සහ මාස තුනක සහන කාලයක් ලබාදීමටත් මේ යටතේ අප පියවර ගන්නවා.
දැනට ප්‍රයෝජනයට නොගන්නා දුම්රිය සතු ඉඩම් වඩාත් ඵලදායි ආයෝජන සඳහා යෙදවීමට එහි වත්කම් කළමනාකරණ වැඩ පිළිවෙල යටතේ අප පියවර ගනු ලබනවා. ඒ සඳහා ඉදිරිපත් වීමට කැමති ඕනෑම අයෙකුට රජයේ කොන්දේසි වලට යටත්ව එම ආයෝජන සඳහා අවස්ථාව ලබා දීමට ඕනෑම අවස්ථාවක සූදානම්.
ඉදිරි කාලය තුළදී දුම්රිය සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා බහුකාර්ය බලකායෙන් තුන් දහසක පිරිසක් දුම්රිය සේවයේ ස්ථිර පත්වීම් සඳහා ඇතුළත් කරගැනීමට අප පියවර ගන්නවා. එසේම වේයන්ගොඩ සිට පානදුර දක්වා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී පැමිණ සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලටද ක්ෂණික විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කළ අමාත්‍යවරයා හික්කඩුව නාගරික ප්‍රදේශය ආශ්‍රිතව දුම්රිය සංඥා පද්ධතියේ පවතින ගැටලු සඳහා මාස දෙකක් තුළ විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි ආකාරයේ ආයෝජන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ආයෝජකයින් සහ පළාත් පාලන ආයතන මගින් ඉදිරිපත් කරන යෝජනා සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.
ජංගම සේවා වැඩසටහනෙන් අනතුරුව හික්කඩුව දුම්රිය පොල ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අමාත්‍යවරයා එහි තත්ත්වය පිළිබඳව ද සොයා බැලිය.
මෙම වැඩසටහන සඳහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ද සිල්වා මැතිතුමා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුව සියලුම අංශ නියෝජනය කළ නිලධාරීන්, ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ