වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා බෙලරුස් රාජ්‍යයයේ ඉන්දීය, බංගලාදේශ, නේපාල හා ශ්‍රී ලාංකීය තානාපති ඇන්ඩ්‍රෙ අයි.රිසෙව්ස්කි (H.E Mr. Andrei I Rzhevssky) මහතා පසුගිය දා (3) හමු විය.
එහි දී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කර ගැනීම උදෙසා සිය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව බෙලරුස් රාජ්‍යයයේ තානාපතිවරයා සඳහන් කරන ලදී.
ශ්‍රී ලංකාව හා බෙලරුස් රාජ්‍යය 2000 වසරේ සිට තානාපති සබඳතා ආරම්භ වූ අතර 2013 වසරේ අගෝස්තු මාසයේදී දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාවය සඳහා ගිවිසුමක් අත්සන් තබන ලදී. රුසියානු රාජ්‍යය සමඟ පවතින ජීස්පී ප්ලස් (GSP +) සහනය යටතේ බෙලරුස් රාජ්‍යයයෙන් 25% ක බදු සහනයක් ශ්‍රී ලාංකීය අපනයනයන්ට හිමි වේ. ඒ යටතේ ශ්‍රී ලංකාව මූලිකවම බෙලරුස් රාජ්‍යය වෙත තේ සහ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන අතර බෙලරුසය පොටෑෂ් පොහොර ශ්‍රී ලංකාව වෙත ආනයනය කරයි. 2021 වසරේදී ශ්‍රී ලංකාව බෙලරුස් රාජ්‍යය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.97 ක් වටිනා භාණ්ඩ තොගයක් අපනයනය කර ඇති අතර 2022 වසර වන විට එම ප්‍රමාණය 15% කින් වර්ධනය වී තිබේ.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිසුන් බොහෝ දෙනෙකු වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව බෙලරුස් රාජ්‍යය අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් ආශ්‍රිතව එම අධ්‍යාපන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. ශ්‍රී ලංකාව තුළට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය වැනි අංශ ආශ්‍රිතව සෘජු විදෙස් ආයෝජන ලබා දීම සම්බන්ධයෙන් පවතින අවස්ථා පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී විමසා සිටින ලදී. මීට අමතරව බෙලරුස් රාජ්‍යය තුළ ආර්ථික කලාප හයක් පවතින අතර ශ්‍රී ලංකාවේ අපනයන සඳහා එහි විශාල ඉල්ලුමක් පවතින බවට අදහස් ඉදිරිපත් වූ අතර මේ වනවිට මෙරටින් සැපයෙන අපනයන ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී. වෙළෙඳ ප්‍රදර්ශන, ව්‍යාපාරික සාකච්ඡා හරහා දෙරට අතර සබදතා තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා බෙලරුස් රාජ්‍යයයේ ඉන්දීය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් යරොස්ලොව් කොලෙස්නික් ( Yaroslav Kolesnik ) බෙලරුස් රාජ්‍යයයේ පොටෑෂ් ආයතනයේ කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් සමකල් (Alexander Samakhval), වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් අයි.එම්.බී.ඒ අතපත්තු, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වෙළෙඳ අමාත්‍යාංශ අධ්‍යක්ෂ කුමුදු මීගහතැන්න, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.