ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු කලාපයේ කුරුළු උණ වසංගතයෙන් නිදහස් එකම රට ශ්‍රී ලංකාව- සත්ව නිෂ්පාදන ප්‍රවර්ධනයට එම කීර්ති නාමය යොදාගන්න

    පෙබරවාරි 21, 2023

    ආසියානු කලාපයේ කුරුළු උණ වසංගතයෙන් නිදහස් එකම රට ශ්‍රී ලංකාව බැවින් ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ මෙරට සත්ව නිෂ්පාදන ප්‍රවර්ධනයට එම කීර්ති නාමය යොදාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ඉදිරි මාස 06 තුළ නැවත වරක් මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය සාර්ථක වන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙරට කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිතව එහි නිෂ්පාදන ඉහළ නැංවීම හා කිරි හා අනෙකුත් සත්ව නිෂ්පාදන පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට සහභාගි වෙමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම කරුණු අනාවරණය කර තිබේ.

    පසුගිය වසරේ පැවැති සත්ව ආහාර හිඟකම, මව්සතුන් ආනයනය නතර කිරීම, පොහොර හිඟය නිසා මෙරට බඩඉරිඟු දේශීය නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනය නතර කිරීම නිසා කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනය කඩාවැටීමකට ලක් විය.

    නමුත් පසුගිය වසර අවසන් වනවිට මව්සතුන් 36,000ක් ආනයනය කර තිබේ. එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසය වනවිට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 178,000ක් ආනයනය කිරීම හා 2023 යල කන්නයේ හා මහ කන්නයේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ඉළක්කයක් ඇතිව වගා කටයුතු සංවිධානය කර තිබෙන නිසා සත්ව ආහාරවල හිඟයක් ද ඇති නොවේ. 2022/ 23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කර තිබෙන අතර රටට අවශ්‍ය තරම් සහල් තොග පවතින නිසා පැරණි සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා ගත හැකි බැවින් සත්ව ආහාරවල හිඟයක්ද ඇති නොවේ.


    ඒ හැර පුද්ගලික අංශයේ ගොවිපොළ සතුව කුකුළු පැටවුන් ලක්ෂ 15ක් පමණ ප්‍රමාණයක් දැනට සිටින බවටද වාර්තා වේ.

    මෙම කරුණු නිසා ඉදිරි මාස හය තුළ මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය අනිවාර්යෙන්ම යළිත් ඉදිරියට එන බවත්, බිත්තර ආනයනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතු නැති බව්ත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි

    ආසියානු කලාපය තුළ කුරුළු උණ වසංගතය වාර්තා නොවූ එකම රට ශ්‍රී ලංකාව නිසා අපේ රටේ කුකුළු මස් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. විශේෂයෙන් ඉන්දියාවේ ද භාවිතා කරනුයේ අපේ රටේ නිෂ්පාදිත සොසේජස් ය. එමෙන්ම වෙනත් රටවල් රැසක අපේ රටේ නිෂ්පාදිත කුකුළු මස් හා බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.


    එමනිසා ආසියානු කලාපය තුළ කුරුළු උණ වෛරසයෙන් නිදහස් එකම රට ශ්‍රී ලංකාව නිසා එම කීර්ති නාමය අපේ රටේ සත්ව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය සඳහා සියලු පියවර ගත යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya